April 27, 2024

"මම කවුද" - සිගරට්ටුවෙන් ඔප්පු කල විමල්

එරන්ද ගිනිගේ ලියයි

විමල් වීරවංශ යනු නොම්මර එකේ මෝඩයෙක් බව ඔහු විසින්ම ඔප්පු කර තිබේ. අනෙක් බොහෝ මන්ත්‍රීන් මෙන් ඔහුද ධනවත් ව්‍යාපාරිකයන්ගේ අල්ලේ නැටවිය හැකි රූකඩයක් බව ඔහුගේ සිගරට් ප්‍රචාරණ වික්‍රමයෙන් ඔප්පු විය. බැසිල්ගේ ආර්ථික දර්ශනයට බැන්නාට විමල් සහ බැසිල් අතර කිසිදු වෙනසක් නැත. ඔවුන් දෙදෙනාටම වැදගත් වන්නේ බල්ලො මරලා හරි සල්ලි හෙවීම බව දැන් පැහැදිලිය.

බැසිල්ට ඕනෑ නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකුණා සල්ලි හොයන්නය. විමල්ට ඕනෑ තරුණයන්ට කුරුඳු සිගරට් විකුණා සල්ලි හොයන්නටය. ඒ සඳහා ඔවුන් දෙදෙනාම අපට සුන්දර සුරංගනා කතා ගොතා කියයි. සිගරට් ප්‍රචාරණය ඇරඹි මුල් කාලයේත් සිගරට් කොම්පැනි ප්‍රචාරණය කළේ ඒවා ශරීර සෞඛ්‍යට ඉතා හිතකර බවයි. දුම්පානයෙන් ඇති වන පිළිකා වැනි රෝගාබාධ විද්‍යාත්මකව හෙළි වීමට පටන් ගත් විට සිගරට් කොම්පැනි කළේ වෛද්‍යවරුන්ට අල්ලස් දී සිගරට් ප්‍රචාරණයට යොදා ගැනීමයි. “දොස්තරවරුන් වැඩිපුරම බොන සිගරට්” වැනි ප්‍රචාරණ පාඨ සහිතව එකල වෙළඳ දැන්වීම් ප්‍රචාරය විය. “ඇදුම රෝගයට හොඳම සිගරට් ” කියාද දැන්වීම් පළ විය. “ගර්භණී මව්වරුන්ට සුදුසු සිගරට්” ලෙස වෙළඳ දැන්වීම් පළ විය. “ඇඟ කෙට්ටුකරන සිගරට්” පාඨය යොදා ගනිමින් තරුණ කාන්තාවන් ඉලක්ක කර සිගරට් ප්‍රචාරණය කෙරිණි. කුඩා දරුවන් පවා ආසාවෙන් නැරඹූ The Flinstones කාටූනයට අනුග්‍රහය දැක්වූ සිගරට් කොම්පැනිය විසින් එහි ප්‍රධාන චරිත ඔවුන්ගේ සන්නාමයේ සිගරට් බොන දර්ශන කාටූනයට එබ්බවීය. “ආත්ම විශ්වාසය වැඩිකරන සිගරට්” ලෙසින් කාන්තාවන් පිරිවරා ගත් හොලිවුඩ් නළුවන් යොදා ගනිමින් සිගරට් ප්‍රචාරණය කෙරිණි. සිගරට් බීමෙන් මෙලෝ වටිනාකමක් නොලැබෙන නිසා ඔවුන්ට මෙවැනි ව්‍යාජ හේතු මවා පෙන්වන්නට සිදු විය. අර දිලිත් ජයවීර කියන “බ්‍රෑන්ඩ් කිරිල්ල” යනු එයයි. විමල් කියන්නේ දැනට සිගරට් වලට ඇබ්බැහි වී සිටින අයට ඉන් මිදීමට කුරුඳු සිගරට් එක හොඳ බවයි.

විමල් අපේ රටේ ආර්ථිකය ගොඩගන්න “යෝධ පිම්මක්” තියන්නේ මේ ඇබ්බැහිකමෙන් මිදෙන්නවත් පුරුෂ හෝ කාන්තා ශක්තියක් නැති බෙලහීන අපතයන් අපතියන් ටිකක් ඉන් ගලවාගෙනය! විමල් හිතන්නේ ඔහුගේ අතාර්කික අවිද්‍යාත්මක ගොබ්බ කතා අප සියලු දෙනාම ඉස් මුදුනෙන් පිළිගනීවී කියාය. සිගරට් බීමේ ආදීනව පාසලේ සිටම උගන්වා මිලදී ගන්නා පැකට්ටුව පුරාත් ප්‍රදර්ශනය කර තිබියදී ඒත් සිගරට් අරගෙන බොන අමු මෝඩයා ඉන් බේරාගත යුත්තේ ඇයි? ඒ ඔවුන්ගේ තෝරාගැනීමයි. ඔවුන් බබ්බු නොවේ. ආදීනව දැන දැනත් ඔවුන් සිගරට් බොනවා නම් විමල්ට තියෙන රුදාව මොකක්ද? නැත. මේ කරන්නේ තනිකර තක්කඩි ක්‍රියාවකි. මේ කරන්නේ තරුණයන් අතරින් ක්‍රමයෙන් අඩුවෙමින් යන දුම්පානය නැවත වර්ධනය කිරීමයි. මේ කරන්නේ අලුත් වටයකින් අලුත් පරම්පරාවක් දුම්පානයට යොමු කිරීමයි. මේ කරන්නේ දුම්පානය කිරීමට තවත් ව්‍යාජ හේතුවක් බ්‍රෑන්ඩ් කිරීමයි.

“ආයුර්වේද” “හර්බල්” යනුවෙන් නම් කරන්නේ ඒ නිසයි. එහෙනම් ඉතින් දුම්කොළ කියන්නෙත් “හර්බල්” බව නූගත් විමල් නොදන්නවා විය හැකිය. ඕනෑම අටමගලයක් විකිණීමට “ආයුර්වේද” ලේබලය ගැසීම දැන් හරි ලේසිය. මේ කරන්නේ කෙසේ හෝ සිගරට් බීම සමාජය තුළ සාමාන්‍ය දෙයක් බවට පත් කිරීමයි. රටේ ඇමතියෙක් පාසල් දරුවන් පවා නරඹන ප්‍රසිද්ධ ජනමාධ්‍ය ඉදිරියේ පුද්ගලිකවම සිගරට්ටුවක් දල්වා බොමින් මේ කරන්නේ කුමක්ද? මේ කරන්නේ කාගේ ප්‍රචාරණයද? සිගරට් කොම්පැනිකාරයන් බඩ අල්ලන් හිනා වෙන බව නොඅනුමානය. එපමණක් නොව තමන් රටේ නීතියට ගරු නොකරන බවත් ඔහු වහසිබස් දොඩයි! දේශීය ව්‍යාපාරිකයා දියුණු කරන මුවාවෙන් මේ ආණ්ඩුව කරන්නේ අන්තිම පහත් නින්දිත වැඩකි. එහෙන් ගස් කප කපා ඉඩම් ටික විකුණයි. ගජමිතුරු “දේශීය” ව්‍යාපාරිකයන් මෙහෙන් ඉහගෙන කයි. “මේඩ් ඉන් ශ්‍රී ලංකා” ලේබලය ගැසූ පමණින් දැන් ඕන දහජරාවක් මේ රටේ මාකට් කළ හැකිය. මේ පාර කපන්නේ ගංජා නීතිගත කිරීමට බවද පැහැදිලිය. නුදුරේදීම “ආයුර්වේද” “හර්බල්” ගංජා සුරුට්ටුද මෙලෙස ප්‍රචාරණය කෙරෙනු ඇත. විමල්ගේ වික්‍රමය වැඩිපුරම අනුමත කරන්නේ ගංජානුකම්පකයන්ය. මේ සියල්ලෙන්ම තව තවත් වාසි වෙන්නේ දුම්කොළ සමාගම්වලටමය. මන්ද ඔවුන්ට අවශ්‍ය කෙසේ හෝ දුම්පානය සමාජයේ ප්‍රචලිත කිරීමයි. උගුලට අල්ලාගත් පසු ගොදුර මස් කරන හැටි ඔවුන් දනී. විමල් ඔයා ෆේල්.

ධර්මය අපට මග වේවා!

(සමාජ ව්‍යවසායක එරන්ද ගිනිගේ මහතාගේ මුහුණු පොතෙන් උපුටා ගන්නා ලද සටහනකි)

 

Rate this item
(0 votes)
Last modified on Friday, 19 March 2021 13:57

Related items