April 25, 2024

ගම්මන්පිලට එරෙහි පොහොට්ටු ප්‍රහාර දරුණු වෙයි (AUDIO)

February 09, 2022

ගම්මන්පිලට තවත් ප්‍රහාරයක්

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සිදු කරන්නේ ව්‍යාජ ප්‍රකාශ බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා.

එම තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාව සතු කිරීමේ ක්‍රියාවලියට තමන්වහන්සේ එරෙහිවන බව යි අභයතිස්ස හිමියන් අවධාරණය කළේ.

උන්වහන්සේ මේ බව කියා සිටියේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පැවැති රැස්වීමක් අමතමින්.

තෙල් ටැංකි සංකීර්ණය මෙතෙක් ඉන්දියාව නතු කරගෙන සිටි බවටත්, අත්සන් කළ ගිවිසුම හරහා එම සංකීර්ණය ශ්‍රී ලංකාවේ අයිතියට ගැනීමට හැකි වූ බවටත් ගම්මන්පිල අමාත්‍යවරයා සිදුකරන ප්‍රකාශය ව්‍යාජ එකක් බව යි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් සැබැවින්ම සිදුවන්නේ මෙතෙක් කල් අනීතිකව සිටි ඉන්දියානු සමාගම නීත්‍යානුකූල ලෙස තෙල් ටැංකි සංකීර්ණය අත්පත් කරගැනීම බව අභයතිස්ස හිමියන් අවධාරණය කළා.

රනිල්ගේ වැඩේ උදය කිරීම

එමෙන්ම, ඉන්දු-ලංකා ගිවිසුම ප්‍රකාරව ශ්‍රී ලංකාව මෙම තෙල් ටැංකි සමූහය ඉන්දියාවට ලබා දීමට බැඳී සිටින බවට වූ ප්‍රකාශය “පට්ටපල් බොරුවක්” බව ද උන්වහන්සේ සඳහන් කර සිටියා.

“විස සහිත” ඉන්දු-ලංකා ගිවිසුම හේතුවෙන් මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ දෑ හේතුවෙන් තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට දීමට සිදුවන බවට ගම්මන්පිල අමාත්‍යවරයා ප්‍රකාශ කරන බව ප්‍රකාශ කළ මැදගොඩ අභයතිස්ස හිමියන් අවධාරණය කළේ, බලශක්ති අමාත්‍යවරයා සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ ක්‍රියාවන්හි ඉතිරි කොටස සිදු කිරීමට නොවන බව යි.

සිදු කරන දේ හරි ද, වැරදි ද යන්න පමණක් තමන්වහන්සේට වැදගත් බවත්, එය සිදුකරන්නේ තමන්වහන්සේ ගෙන ආ ආණ්ඩුව ද යන්න පවා වැදගත් නොමැති බවත් උන්වහන්සේ පෙන්වා දුන්නා.

එම නිසා මෙම ක්‍රියාවලිය අත්හැර දැමිය යුතු බව යි මැදගොඩ අභයතිස්ස හිමියන් අවධාරණය කළේ.

පොහොට්ටුවෙන් ගම්මන්පිලට එන විරෝධය

මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් යනු රාජපක්ෂවරුන් හට බොහෝ සෙයින් හිතැති ස්වාමීන්වහන්සේ නමක් ය යන්න ප්‍රසිද්ධ කරුණක්වන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලය හොබවන වර්තමාන ආණ්ඩුව බලයට ගෙන ඒමට ද උන්වහන්සේ කැපීපෙනෙන මෙහෙවරක් සිදු කළා.

එවන් හිමිනමක් උදය ගම්මන්පිල මහතාට මේ ආකාරයෙන් වාග් ප්‍රහාර එල්ල කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පසුපෙළ මන්ත්‍රීවරු සහ එම පක්ෂයේ තවත් මැති ඇමතිවරුන් ද ගම්මන්පිල අමාත්‍යවරයාට දරුණු විවේචන සිදු කරන පසුබිමක යි.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සහ විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ යන මහත්වරුන් අතර ද “සීතල යුද්ධයක්” වැනි වාතාවරණයක් පසුගිය සමයේ ඇති වූයේ විදුලි බලාගාර සඳහා ඉන්ධන ලබා නොදීමේ ගැටළුව මුල් කරගනිමින්.

එමෙන්ම ආසන්නතම සිදුවීම වන්නේ පෙරේදා (07) අරලියගහ මන්දිරයේ පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමේ දී ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව සිදුවුණු වාග් ප්‍රහාර මාලාව යි.

ජනපති, අගමැති ඉදිරියේත් බැණුම්

මෙම අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන තිදෙනා ද එක්ව සිටි අතර රැස්වීම අතරතුර දී ජයන්ත කැටගොඩ, තිස්ස කුට්ටිආරච්චි හා ජගත් කුමාර ඇතුළු පසුපෙළ මන්ත්‍රීවරු ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව දැඩිව අදහස් පළ කොට ඇති බව යි වාර්තා වූයේ.

ඔවුන් සහ ගම්මන්පිල අමාත්‍යවරයා අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බවත්, පසුව රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා ද උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව අදහස් පළ කොට ඇති බවත් වැඩිදුරටත් වාර්තා වූ අතර එයට මූලික වී තිබුණේ මීට දින කිහිපයකට පෙර ගම්මන්පිල මහතා සිදු කළ ප්‍රකාශයක්.

විදේශ විනිමය අර්බුදයට හේතුව අසීමිත ලෙස ණයවර ඉහළ යාම මිස කොවිඩ් වසංගත තත්ත්වය නොවන බවට මාධ්‍ය හමුවක් අතරතුර පසුගිය දා ගම්මන්පිල අමාත්‍යවරයා සඳහන් කළ අතර ඔහුට විරුද්ධව අදහස් පළ කළ අයගේ අදහස වී ඇත්තේ මෙවන් ප්‍රකාශ හරහා ආණ්ඩුව අපහසුතාවට පත් වන බව යි.

ගෝඨාගෙනුත් තරවටුවක්

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද මෙයට මැදිහත් වෙමින් අදහස් දක්වා ඇති බව වාර්තා වූවා.

ඔහු අවධාරණය කොට ඇත්තේ කිසියම් කරුණක් සම්බන්ධයෙන් අදහස් පළ කරන්නේ නම් ඊට පෙර එම කරුණ පිළිබඳව පුළුල්ව අධ්‍යනය කළ යුතු බව යි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවයෙන් දිගින් දිගටම ප්‍රහාර එල්ල වන පසුබිමක පසුගිය දිනවල ඇතැම් පුවත් වෙබ් අඩවි වාර්තා කොට තිබුණේ ගම්මන්පිල මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වීමේ සූදානමක ද සිටින බවට යි.

කෙසේ වෙතත් එවැන්නක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පාර්ශවයකින් නිල ප්‍රකාශයක් ඉදිරිපත් වී නැහැ.

කියවන්න: ආණ්ඩු රැස්වීම ඇවිලෙයි! ගෝඨාගෙන් තරවටු!

“විවේචන ඕනෙ නම් ඉවත් වෙන්න”

ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යධූර දරන විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර ආදී අය මෙන්ම ආණ්ඩුවට පක්ෂපාතීව කටයුතු කළ අතුරලියේ රතන හිමි වැන්නවුන් ද ආණ්ඩුව පිළිබඳ දැඩි විවේචන ප්‍රසිද්ධියේ සිදු කිරීම පසුගිය කාලයේ දක්නට ලැබුණු අතර ඉහත කී අමාත්‍යවරුන් තිදෙනා “යුගදනවි” ගිවිසුමට එරෙහිව අධිකරණයට ද ගොස් තිබීම කැපී පෙනුණා.

එවන් පසුබිමක මීට සති කිහිපයකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුවත්පත් කතුවරුන් හමු වූ අවස්ථාවක දී සඳහන් කර තිබුණේ වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස සිටිමින් කැබිනට් තීරණයකට එරෙහිව අධිකරණයට යාම සහ කැබිනට් තීන්දුව ප්‍රසිද්ධියේ විවේචනය කිරීම වැරදි බව යි.

කැබිනට් තීන්දුවකට එරෙහිව අධිකරණයට යනවා නම් අමාත්‍ය ධුරයෙන් ඉවත් වී එය කළ යුතු බව ද ඔහු සඳහන් කර සිටියා.

එසේ නොමැතිව කැබිනට් මණ්ඩලයේ සිටිමින්ම කැබිනට් තීරණයකට එරෙහිව අධිකරණයට යාම සහ එම තීන්දුව විවේචනය කිරීම කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩකිරීමක් බව යි ජනාධිපතිවරයා එදින පෙන්වා දුන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 10 February 2022 10:21