March 28, 2024

අගමැති බිලියන 24 කට ගහලා: හිටපු අගමැතිගෙන් චෝදනා - මන්ත්‍රීකමිනුත් ඉල්ලා අස්වේ

පාකිස්ථානයේ නව අගමැතිවරයා ලෙස පත් වූ සෙබාස් ෂරිෆ්ට එරෙහිව පාකිස්තානු රු. බිලියන 24ක දූෂණ චෝදනා තිබෙන බව හිටපු අගමැති ඉම්රාන් ඛාන් මහතා සඳහන් කරනවා.

ඉකුත් 9 දින විශ්වාසභංගයක් හරහා ධුරයෙන් පහ කළ ඉම්රාන් ඛාන් මහතා වැඩි දුරටත් සඳහන් කරන්නේ මෙවැනි දූෂිතයෙකු රටේ අගමැතිවරයා ලෙස පත් කිරීමට වඩා අවමානයක් පාකිස්තානයට කළ නොහැකි බවයි.

හිටපු අගමැති සොහොයුරා

අග්‍රාමාත්‍ය ධූරයට පත් 70 හැවිරිදි සෙබාස් ෂරීෆ් පාකිස්තාන විපක්ෂ නායකයා වන හිටපු අගමැති නවාෂ් ෂරීෆ් මහතාගේ සොහොයුරා වනවා.

පාකිස්තාන ජාතික සභාව (පාර්ලිමේන්තුව) නව අග්‍රාමාත්‍යවරයා පත් කිරීමේ අවස්ථාවට පෙර ඉම්රාන් ඛාන් මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ද ඉල්ලා අස්වුණා.

ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දුන්නේ ජාතික සභාවේ හොරු සමඟ වාඩිවීමට තමා සූදානම් නැති බවයි.

ඡන්දය වර්ජනය කිරීම

ඉම්රාන් ඛාන් මහතා නායකත්වය දෙන පාකිස්තාන තේරීක් ඉ ඉන්සාෆ් පක්ෂයේ සියලු සාමාජිකයින් නව අග්‍රාමාත්‍යවරයා තෝරාගැනීමේ ඡන්දය වර්ජනය කළා.

වර්ජනය කිරීමට පෙර ඉම්රාන් ඛාන් මහතාගේ පක්ෂයෙන් අග්‍රාමාත්‍ය ධූරය සඳහා ෂා මෂූඩ් කුරේසී මහතාව නම් කළ මුත් අවසාන මොහොතේ එය ඉල්ලා අස්කර ගත්තා.

මේ නිසා නව අගමැතිවරයා තේරී පත්වූයේ නිතරඟයෙන්.

දූෂණ චෝදනා

නව අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ පුත්‍රයින් වන හම්සා ෂරීෆ් සහ සුලෙයිමන් ෂරීෆ් මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටිනවා.

එම චෝදනා එල්ල වූයේ 2020 නොවැම්බර් මස වන අතර සුලෙයිමන් ෂරීෆ් ඒ වන විටත් ජීවත්වන්නේ බ්‍රිතාන්‍යයේ.

මේ චෝදනා මත සෙබාස් ෂරීෆ් මහතා හට නව අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට පෙර අධිකරණයෙන් අපේක්ෂිත ඇපයක් ලබා ගැනීමට සිදු වුණා.

Rate this item
(0 votes)
Last modified on Monday, 11 April 2022 22:23