April 27, 2024

කොරෝනා සමග එන අලුත් රෝගය "ෆ්ලොරෝනා" ගැන ඔබ දැන ගත යුතු සියළු දේ

කොවිඩ් 19 ගෝලීය වසංගත තත්ත්වය ලෝකයට බලපෑම් එල්ල කර මේවන විට වසර දෙකකුත් ඉක්මවා යමින් පවතිනවා.

2022 වසර උදාවූයේ ද වසංගත තත්ත්වය පහව නොගිය පසුබිමක යි.

නව ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබඳව තවමත් ලෝකය හරි හැටි නොදත් මොහොතක එන්නත්කරණය ද ලොව පුරා සම ලෙස බෙදී නොයාමේ ගැටළුවක පවතිනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය ද පවසන්නේ මෙය ගෝලීය වසංගත තත්ත්වයක් බැවින් සංවර්ධිත රටවල් පමණක් සිය එන්නත්කරණය සාර්ථක ලෙස සිදු කිරීමෙන් ඵලක් නොමැති බව යි.

මෙවන් මොහොතක කොවිඩ් 19 වෛරසය හා සම්බන්ධ තවත් රෝගයක් පිළිබඳ පුවතක් ලෝකයම කැළඹීමට සමත් වී තිබෙනවා.

ෆ්ලොරෝනා

මෙම තත්ත්වය නම් කොට ඇත්තේ “ෆ්ලොරෝනා” (Florona) ලෙසින්.

මෙය ආසාදනය වූ පළමු රෝගියා හඳුණාගෙන ඇත්තේ ඊශ්‍රායලයෙන්.

එරට පුවත් වාර්තා සඳහන් කරන්නේ ගැබිණි තරුණියක් මෙලෙස ආසාදනය වී ඇති බව යි.

ඊශ්‍රායලයේ “පෙටා ටික්වා” නගරයේ පිහිටි “රබීන්” වෛද්‍ය මධ්‍යස්ථානයට ඇය ඇතුළත් කර ඇත්තේ දරු ප්‍රසූතිය සඳහා බවත්, එහි දී සිදු කළ පරීක්ෂණ හරහා ඇය ෆ්ලොරෝනා ආසාදිත බවට හඳුණාගෙන ඇති බවත් සඳහන්.

මේ අතර ටෙල් අවීව් නුවර පාදක කරගත් “යෙඩියොත් අහ්රොනෝත්” පුවත්පත වාර්තා කර ඇත්තේ අදාළ තරුණිය කිසිදු එන්නතක් ලබා නොගත් තැනැත්තියක් බවට යි.

එන්නත්කරණය සාර්ථක ලෙස සිදුකරන රටක් ලෙස සැළකෙන ඊශ්‍රායලය තුළින් එකදු එන්නතක් හෝ ලබා නොගත් අයෙකු මෙලෙස වාර්තා වීම ද විශේෂත්වයක්.

මොකක්ද මේ ෆ්ලොරෝනා?

ෆ්ලොරෝනා යනු තවත් කොවිඩ් වෛරස ප්‍රභේදයක් ලෙස ඇතැමෙක් වරදවා වටහා ගත හැකියි.

මෙය නව කොවිඩ් ප්‍රභේදයක් නොවන අතර කොවිඩ් 19 වෛරසය සහ ඉන්ෆ්ලුවෙන්සා වෛරසය යන වෛරස දෙකම එකවර ද්විත්ව ආසාදනයක් සේ එකම රෝගියෙකුට බලපෑම් කිරීම යි ෆ්ලොරෝනා රෝගී තත්ත්වය ලෙස හඳුන්වා ඇත්තේ.

ඉන්ෆ්ලුවෙන්සා වෛරසය මගින් “ඉන්ෆ්ලුවෙන්සාව” නමැති රෝගී තත්ත්වය ඇති කරන අතර එය “ෆ්ලූ” (Flu) ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේ දී හඳුන්වනු ලබනවා.

ෆ්ලොරෝනා (FLORONA) නාමය නිර්මාණය වී ඇත්තේ ෆ්ලූ යන්නෙහි “FL” අක්ෂර දෙක සහ කොරෝනා යන්නෙහි “ORONA” අක්ෂර පහ “FL + ORONA” එකතු කිරීමෙන්.

ඉන්ෆ්ලුවෙන්සාව

ඉන්ෆ්ලුවෙන්සාව ඇති කරන ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ද කොවිඩ් වෛරසය මෙන්ම ශ්වසන පද්ධතියට බලපෑම් සිදු කරන වෛරසයක්.

මෙය වරින්වර සමාජයේ සුලබව පැතිර යන රෝගයක්වන අතර බටහිර රටවල් තුළ මෙය වැඩි වශයෙන් වාර්තා වනවා.

එම රටවල් තුළ විශේෂයෙන් සීත කාලයේ දී මෙය පැතිර යනු ලබනවා.

එම නිසාම බටහිර රටවල් බොහොමයක් ඉන්ෆ්ලුවෙන්සා වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණ එන්නත් ද ලබා දෙනවා.

කෙසේ වෙතත් මෙය බටහිර රටවල්වලට පමණක් සීමා වූ වෛරසයක් ලෙස වැරදි වැටහීමක් ඇති නොකරගත යුතු අතර මෙරට ඇතුළු ලොව සෑම ප්‍රදේශයකින්ම පාහේ ඉන්ෆ්ලුවෙන්සාව වාර්තා වනවා.

උණ, හිසරදය, කැස්ස, නාසයෙන් සොටු දියර ගැලීම, ඇඟපත වේදනාව, මස්පිඩු වේදනාව, ශරිරයේ අප්‍රාණිකත්වය, උගුරේ කැක්කුම, පාචනය හා වමනය ආදියෙන් එකක් හෝ කිහිපයක් ඉන්ෆ්ලුවෙන්සාවේ රෝග ලක්ෂණ ලෙස හඳුණාගත හැකි යි.

ලාංකීය සමාජයේ “හෙඹිරිස්සා උණ” ලෙස හඳුන්වනු ලබන රෝගී තත්ත්වය මෙම ඉන්ෆ්ලුවෙන්සාව වීමේ ඉඩකඩ බොහෝ සෙයින් පවතිනවා.

සාමාන්‍ය පුද්ගලයෙකු ඉන්ෆ්ලුවෙන්සාව මගින් බරපතළ තත්ත්වයකට පත් වීම ඉතා විරළ වුවත් වෛද්‍යවරු සඳහන් කරන්නේ ගර්භනී කාන්තාවන්, ළදරුවන් හා වයස්ගත වූ අය මෙම රෝගයට ගොදුරු වුවහොත් අනෙක් පිරිසට සාපේක්‍ෂව තරමක් අසාධ්‍ය තත්වයට පත් වීමේ ඉඩකඩ පවතින බව යි.

එමෙන්ම ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ආසාදිතයෙකුගෙන් නිරෝගී අයෙකුට බෝවන්නේ ද කොවිඩ් වෛරසය බෝවන අයුරින්ම යි.

සෘජුවම රෝගී පුද්ගලයෙකුට නිරාවරණය වීම, වෛරසය වැළඳී ඇති අයකු පරිහරණය කළ භාණ්ඩ පරිහරණය කිරිම, ආසාදිතයෙකුගේ මුඛයෙන් සහ නාසයෙන් පිටවන බිඳිති ආග්‍රහණය කිරීම ආදිය උදාහරණ ලෙස දැක්විය හැකි යි.

වැඩිදුර පරීක්ෂණ

කොවිඩ් 19 සහ ඉන්ෆ්ලුවෙන්සා වෛරස ද්විත්ව ආසාදනයක් ලෙසින් මෙලෙස වාර්තා වීමත් සමග ඊශ්‍රායල සෞඛ්‍ය බලධාරීන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා.

එහි දී අනාවරණය වී ඇත්තේ ඊශ්‍රායලය තුළ පසුගිය සති කිහිපයක කාලයේ දී ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩි වීමක් වාර්තා වී ඇති බව යි.

එබැවින් තවත් ෆ්ලොරෝනා රෝගීන් සිටිය හැකි බැවින් ඔවුන් හඳුණාගැනීම සඳහා මෙම තත්ත්වය තමන් සමීපව අධ්‍යනය කරමින් සිටින බව යි ඊශ්‍රායල සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පවසන්නේ.

එමෙන්ම මේවන විට ඊශ්‍රායලය සිය වැසියන්ට හතරවන කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රාව ද ලබා දෙමින් පවතිනවා.

භයානක ද?

මේ අතර කොවිඩ් 19 වෛරසයට ලොවම බිය වී ඇති පසුබිමක ෆ්ලොරෝනා රෝගී තත්ත්වයෙහි භයානක බව පිළිබඳව ද බොහෝ දෙනා අවධානය යොමු කරමින් පවතිනවා.

කයිරෝ විශ්වවිද්‍යාල රෝහලෙහි වෛද්‍ය නහ්ලා අබ්දේල් මහත්මිය ඊශ්‍රායල මාධ්‍ය වෙත ප්‍රකාශ කරන්නේ වෛරස දෙකක් මේ අයුරින් එකවර මිනිස් සිරුරට ආසාදනය වීම හරහා ප්‍රතිශක්තීකරණ පද්ධතියේ බිඳවැටීමක් සිදු විය හැකි බව යි.

එබැවින් මෙය ගණන් නොගෙන සිටිය නොහැකි අවස්ථාවක් බව ඇය අවධාරණය කර සිටිනවා.

කෙසේ වෙතත් මේ පිළිබඳ ජනතාව අනවශ්‍ය කළබලයක් ඇති කරගත නොයුතු බව ද සෞඛ්‍ය බලධාරීන් පවසනවා.

නිසි සෞඛ්‍ය උපදෙස් නිවැරදිව පිළිපැදීම මගින් මෙම වෛරස දෙකෙන්ම ආරක්ෂා විය හැකි බව යි ඔවුන් පෙන්වා දෙන්නේ.

හඳුනා නොගත් රෝගීන්?

ෆ්ලොරෝනා නමින් නව ආසාදනයක් මෙලෙස වාර්තා වන්නේ පසුගිය වසරේ (2021) නොවැම්බර් මාසයේ දී දකුණු අප්‍රිකාවෙන් ප්‍රථම වරට හඳුණාගත් ඔමික්‍රෝන් ප්‍රභේදය ලොව පුරා වේගයෙන් පැතිර යමින් පවතින මොහොතක යි.

මීට පෙර ලොව පුරා ප්‍රමුඛ ප්‍රභේදය වූ ඩෙල්ටාට වඩා ඕමික්‍රෝන් ප්‍රභේදය වැඩි පැතිරීමේ ගුණයකින් යුතුවන අතර ඒ නිසාම පසුගිය දින කිහිපය තුළ ලොව කොවිඩ් ආසාදිතයින්ගේ කැපී පෙනෙන වැඩි වීමක් දක්නට ලැබෙනවා.

එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ පෙර පැවැති ඩෙල්ටා ප්‍රභේදය අභිබවා යාමට ද මේවන විට ඔමික්‍රෝන් ප්‍රභේදය සමත් වී තිබෙනවා.

බොහෝ රටවල්වලට සීත කාලය පැමිණ ඇති බැවින් ඉන්ෆ්ලුවෙන්සාව ද පැතිර යමින් පවතින පසුබිම මත තවමත් හඳුණා නොගත් ෆ්ලොරෝනා රෝගීන් ද බොහොමයක් සිටිය හැකි බවට ද සෞඛ්‍ය අංශ බිය පළ කරනවා.

ඔමික්‍රෝන් සහ ඩෙල්ටා

ලොවම සළිත කළ ඩෙල්ටා ප්‍රභේදය හා සසඳන විට ඔමික්‍රෝන් ප්‍රභේදය තුළ ඇති කැපී පෙනෙන වෙනස වන්නේ එහි පවතින විකෘතිතා ගොන්නයි.

ලොව පළමු වරට චීනයේ වූහාන් පෙදෙසින් වාර්තා වූ කොවිඩ් 19 මුල් වෛරසය හා සසඳන විට ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතිතා 02ක් අන්තර්ගත වූවා.

ඩෙල්ටා ප්‍රභේදය සීග්‍ර ලෙස පැතිර යාමටත්, ආසාදිතයින්ගේ රෝග ලක්ෂණ දරුණු වීමටත්, මරණ ගණන වැඩි වීමටත් එම විකෘති හේතු වුණා.

කෙසේ වෙතත් නව ඔමික්‍රෝන් ප්‍රභේදය තුළ පවතින විකෘති ගණන 50ක් පමණවන බව යි අනාවරණය වී තිබෙන්නේ.

වඩාත් සැළකිය යුතු කරුණ වන්නේ එම විකෘතිතා 50න් 32ක්ම වෛරසයේ ස්පයික් ප්‍රෝටීනවල සිදුව තිබීම යි.

ස්පයික් ප්‍රෝටීන

කොවිඩ් වෛරසයේ පිටත ආවරණයේ ඇති කෙඳි සහිත ව්‍යුහයන් ස්පයික් ප්‍රෝටීන ලෙස හැඳින්වෙනවා.

වෛරසය මිනිස් සිරුර තුළට ඇතුළු වූ විට ආසාදනය සඳහා භාවිත කරන්නේ ද මෙම ස්පයික් ප්‍රෝටීන යි.

වෙනත් අයුරකින් පැවසුවහොත්, මිනිස් සිරුරේ සෛල හා සම්බන්ධ වීමට වෛරසය භාවිත කරන යතුර මෙම ස්පයික් ප්‍රෝටීන ලෙස හැඳින්විය හැකියි.

මේ නිසා ඔමික්‍රෝන් ප්‍රභේදය වඩාත් පහසුවෙන් මිනිසුන් තුළ ස්ථාපිත විය හැකි බව සාධාරණ සැකයක් විද්‍යාඥයින්ගේ සිත් තුළ පහළ වී තිබෙනවා.

එමෙන්ම ස්පයික් ප්‍රෝටීන ව්‍යුහයන් විකෘති වී ඇති නිසා මීට පෙර අනෙකුත් ප්‍රභේද ආසාදනය වී සුව වූ පිරිස් වෙත ද ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය විය හැකි බවට විද්‍යාඥයින් බිය පළ කරනවා.

එන්නතත් අපතේ යයි ද?

මේවන විට භාවිතයේ පවතින ප්‍රමුඛතම එන්නත් සියල්ලම පාහේ නිර්මාණය කර ඇත්තේ ද ස්පයික් ප්‍රෝටීන මූලික කරගෙන වීම මීලග ගැටලුව යි.

එහි දී එන්නත් සඳහා යොදාගෙන ඇත්තේ වූහාන් නගරයෙන් හමු වූ මුල් කොවිඩ් වෛරසයේ ස්පයික් ප්‍රෝටීන සැකැස්ම යි.

මෙනිසා නව ඔමික්‍රෝන් ප්‍රභේදය එන්නත්වලට ද විරෝධතාවක් දැක්වීමට වැඩි ඉඩකඩක් පවතින බව ද විද්‍යාඥයින්ගේ මතය වී තිබෙනවා.

එවන් තත්ත්වයක් මතුවුවහොත් එන්නත් ලබාගත් පුද්ගලයින් ද ආසාදිතයින් වීමේ හැකියාව පවතින අතර එන්නත් නිෂ්පාදන ක්‍රියාවලිය ද යළි මුල සිට ඇරඹීමට සිදුවනු ඇති.

මිනිස් ප්‍රතිශක්තිය පැරදෙයි?

මේ අතර ඔමික්‍රෝන් ප්‍රභේදය තුළ ඇති ඇතැම් විකෘතිතා මගින් සිරුර තුළ ඇති ප්‍රතිශක්තිකරණ උපක්‍රම මඟහැර යෑමේ හැකියාව දැකිය හැකි බව ද පෙන්නුම් කර තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ කවාසුලී නේටල් විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය රිචඩ් ලෙස්සෙල්ස් මහතා පවසන්නේ එවන් පසුබිමක නව වයිරස ප්‍රභේදය මිනිසුන් අතර ඉතා පහසුවෙන් පැතිර යා හැකි දරුණු ප්‍රභේදයක් විය හැකි බවයි.

එමෙන්ම ආසාදනය වන්නන්ගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියට වෛරසය ජය ගැනීම බොහෝ අසීරුවනු ඇති බවට ද මත පළ වී තිබෙනවා.

විද්‍යාඥයින් මවිත වෙයි

ඔමික්‍රෝන් ප්‍රභේදය වාර්තා වූ පළමු සාම්පලය ලබාගෙන තිබුණේ නොවැම්බර් 9 වැනිදා යි.

මෙය තුළ විකෘති ප්‍රමාණය මෙතරම් ඉහළ අගයක් ගැනීම හේතුවෙන් විද්‍යාඥයන් පවා පුදුමට පත්ව ඇති බව වාර්තා වෙනවා.

මෙම ප්‍රභේදය සොයාගැනීමට මූලික වූ දකුණූ අප්‍රිකානු වසංගත ප්‍රතිචාර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය ටූලියෝ දි ඔලිවේරා මහතා පවසන්නේ මෙම ප්‍රභේදයේ ඇත්තේ අසාමාන්‍ය විකෘති ප්‍රමාණයක් බව යි.

“මේ ප්‍රභේදය අපිව පුදුමයට පත් කළා. වෛරසයේ පරිණාමය අතින් ගත් විට මෙය ලොකු පිම්මක්. මේ සොයාගැනීමත් සමග ඉදිරි කාලයේ දී පැමිණිය හැකි තවත් විකෘති ප්‍රභේද ගණනාවක් පිළිබඳව අපි බලාපොරොත්තු විය යුතු වනවා”

ප්‍රතිවිරුද්ධ මතය

ඔමික්‍රෝන් ප්‍රභේදය තුළින් උද්ගත විය හැකි දරුණු ප්‍රතිඵල පිළිබඳ බොහෝ විද්‍යාඥයින් මෙලෙස බියමුසු අදහස් පළ කරද්දී තවත් විද්‍යාඥයින් පිරිසකගේ මතය වී ඇත්තේ මෙම ප්‍රභේදයෙහි පැතිරීම වේගවත් වුවත්, රෝග ලක්ෂණ අතින් එතරම් දරුණු නොවිය හැකි බවට යි.

වරින් වර විවිධ කෝවිඩ් ප්‍රභේද නිර්මාණය වීම සාමාන්‍ය බව නව ප්‍රභේදය ගැන අදහස් දක්වමින් එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් සරසවියේ මහාචාර්ය රවී ගුප්තා මහතා ප්‍රකාශ කරනවා.

ඉන් සමහරක් ඉතා භයානක ලෙස මුලින් සිතුවත් පසුව ඒවා මගින් එතරම් හානි කර තත්ත්ව උදා වී නැති බව ද ඔහු පෙන්වා දෙනවා.

එහෙත් වැඩිදුර කරුණු දක්වමින් ඔහු පවසන්නේ ප්‍රභේදය ගැන දැඩි අවධානයෙන් පසු විය යුතු බවයි.

එමෙන්ම තවත් විද්‍යාඥයින් පවසන්නේ මෙම ප්‍රභේදයෙහි දරුණූ බව තීරණය කිරීමට තරම් තොරතුරු තවමත් ලොව සතුව නොමැති බව යි.

ආසාදිතයින්ගේ වර්ධනය, රෝග ලක්ෂණ ඇතිවීම ආදිය කාලය සමග සියුම්ව පරීක්ෂා කිරීම හරහා ඉදිරියේ දී මේ පිළිබඳව විස්තරාත්මක දැනුමක් ලබා ගැනීමට හැකිවනු ඇති බව ඔවුන් පවසනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 05 January 2022 09:52