April 26, 2024

සෞඛ්‍ය මාර්ගෝපදේශවල වෙනසක්!

සෞඛ්‍ය මාර්ගෝපදේශවල ලිහිල් කිරිමක් සිදු කරන බවත් එය හෙට (05) ප්‍රකාශයට පත්කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසා සිටියා.

කොවිඩ් තත්ත්වයත් සමඟ පැන වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ හේතුවෙන් මියගිය පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදුකරන අවස්ථාවේ අවසන් ගෞරව දැක්වීමට නොහැකිව ඥාතීන් යම් යම් අසීරුතාවන්ට පත්වූ බවත් එය යම් මට්ටමකට යථාතත්ත්වයට පත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා සඳහන් කළා..

කුණ්ඩසාලේදී පෙරේදා (03) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රඹුක්වැල්ල මහතා මේ බව ප්‍රකාශ කළා.

මේ වන කොවිඩ් ආසාදිතව නිවාස වල ප්‍රතිකාර ලබා සුවය ලද සංඛ්‍යාව එක්ලක්ෂ පනස් දහසද ඉක්මවා තිබෙන බවත් රෝහල් ගතකර මොවුන්ට ප්‍රතිකාර ලබාදෙන්නට සිදුවූවේ නම් ඇතිවන තත්ත්වය ඉතා බැරෑරුම් වනු ඇති බවත් ඒ මහතා සඳහන් කළා.

නිවාස වල ප්‍රතිකාර ලද පිරිස අතරින් මරණයට පත්වූවේ එක් අයෙකු පමණක් බවත් රෝහල් ගත කිරීමට සිදුවූයේ 1460 දෙනෙකුට පමණක් බවත් සෞඛ්‍ය ඇමැතිවරයා පැවසුවා.

නිවාස වල ප්‍රතිකාර ලැබූ අයට ඉතා හොඳ සේවයක් ලබාදීම සඳහා කෙටි පණිවිඩ ක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගත් බවත් රෝගීයෙකු පිළිබඳව කෙටි පණිවිඩයක් ලැබී විනාඩි 30 ක් තුළ සෞඛ්‍ය අංශයේ නිලධාරියෙකු එම නිවසට යන ආකාරයට එම වැඩපිළිවෙළ විධිමත්ව ගොඩනගා තිබූ බවත් කී ඇමැතිවරයා මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය ඉතා ඉහළින් අගය කළ බවද අවධාරණය කළා.

(මහනුවර - කමල් සුරවීර)                                      

Rate this item
(0 votes)
Last modified on Friday, 04 March 2022 14:04