April 20, 2024

අභාවයට යන දේශීය කලා නිර්මාණ

දේශීය කලා නිර්මාණ විදේශීය වෙළදපොළට හදුන්වා දී ඒ තුළින් මෙරටට විශාල විදේශ විනිමයක් උපයා ගත හැකි බව හලාවත - පුලියන්කඩවර පදිංචිකරුවෙකු වන ඩබ්ලිව්.ඒ.එස්.පී.මහින්දරත්න මහතා සදහන් කරනවා.

විවිධ හැකියාවන් ඇති දේශීය කලාකරුවන් එකම තැනකට ගොනු කර ඔවුන්ගේ හැකියාවන් නිර්මාණයන් බවට පත් කිරීමට මහින්දරත්න මහතා කටයුතු කර තිබෙනවා.

ඒ අනුව මැටි, බෝතල්, රෙදි, ලී වැනි දෑ උපයෝගී කරගෙන විවිධාකාරයේ නිර්මාණයන් සිදු කිරීමට ඒ මහතා සමත් වී තිබෙනවා.

"පසුගිය කොරෝනා කාලයේ රටම වහලා තියන කොට නිවසේ සිටින විටයි මට මේ අදහස ඇති වුනේ. ඊට පස්සේ මම කළේ හලාවත සහ ඒ අවට ඉන්න දක්ෂතා ඇති කලාකරුවන් කවුරුන්ද කියලා හොයා බලන එකයි. මට හමුවුණා පුදුම හැකියාවන් තියන කලාකරුවන් පිරිසක්. ඒ කලාකරුවන්ට මෙතෙක් නියමිත අගයක් එකතු කරලා නැහැ කියන එකයි මගේ අදහස. ඒකට හේතු කීපයක් තියෙනවා. පළමු වැන්න වන්නේ අපේ අයගේ නිර්මාණට අපිට වටින්නේ නැති එක. දෙවැන්න වන්නේ ඒ නිර්මාණ වලට නිසි වෙළදපොළක් නොමැති වීම. මේ වන විට අප රට තුළ සංචාරක කර්මාන්තයද බෙහෙවින් කඩා වැටිලා.මෙම තත්ත්වය නිසා දේශීය නිර්මාණ වලට තැනක් ඇත්තේම නැහැ.

මුලින්ම මම කළේ විවිධ නිෂ්පාදන සිදු කිරීමයි. ඒ සදහා හැකියාව ඇති පුහුණුව තිබෙන පිරිසක් හදුනා ගත්තා. අනතුරුව එම නිෂ්පාදනයන් සදහා විවිධ නිර්මාණ ඇතුළත් කර දර්ශනීය ලෙස නිමාවන් කලා. දැන් අපි සතුව එවැනි නිර්මාණ විශාල ප්‍රමාණයක් තිබෙනවා. මැටි, ලී කැබලි, රෙදි, ඉවත දමන බෝතල් අපි මේ සදහා යොදා ගෙන තිබෙනවා. ඉදිරියේදී ඉරටු, තල් සහ ඉදි කොළ ආශ්‍රිත නිෂ්පාදනයන් සිදු කරන්නත් අපි බලාපොරොත්තු වනවා. අපි විසින් සිදු කරන කිසිදු නිර්මාණයක් හෝ නිෂ්පාදනයක් දේශීය වෙළදපොළට එක් කරන්න සුදානමක් නැහැ. අපේ ප්‍රධාන ඉලක්කය වන්නේ විදේශීය වෙළදපොළයි.

විදේශීය වෙළදපොළ තුළ දේශීය නිර්මාණ සහ නිෂ්පාදනයන්ට ඉහල මිලක් තිබෙනවා. නමුත් අවසනාවකට අපේ නිර්මාණකරුවන්ට ඒ සදහා අවස්ථාවක් නැහැ. මෙතෙක් කාලයක් නොතිබුණු ඒ අවස්ථාව උදා කර දීමයි මාගේ අරමුණ වී තිබෙන්නේ. ඒ තුළින් අප රටට මේ වන විට දැඩි ලෙස අවශ්‍යව ඇති විදේශ විනිමය උපයා දෙන්නත් අපිට හැකියාව තිබෙනවා. මේ තුළින් අපිට හැකියාව තිබෙනවා බොහෝ පිරිසකට තමන්ගේ නිවස තුළම සිට නිෂ්පාදනයන් සහ නිර්මාණයන් සිදු කරන්න. අපිට අවශ්‍ය කරන නිර්මාණ සහ නිෂ්පාදනයන් සම්බන්ධයෙන් අපි ඔවුන් දැනුවත් කරනවා. මේ ආකාරයට නව දේශීය නිෂ්පාදනයන් සහ නිර්මාණ කිරීමට හැකියාවන් ඇති පිරිස් සිටින්නේ නම් ඔවුන්ට සහායක් වෙන්න අපි සුදානම්."

(ජුඩ් සමන්ත)

Rate this item
(0 votes)
Last modified on Monday, 24 January 2022 13:53