March 29, 2024

අලුත් සෞඛ්‍ය චක්‍රලේඛයක්! කොවිඩ් පරීක්ෂණ කරන්නේ මේ අයට පමණයි!

February 10, 2022

රැපිඩ් කට්ටල නෑ

කොවිඩ් ආසාදිතයින් හඳුණා ගැනීම සඳහා භාවිත කෙරෙන ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ කට්ටල හෙවත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටලවල දීපව්‍යාප්ත හිඟයක් පවතින බව ඒෂියන් මිරර් අප පසුගිය ජනවාරි 27 වැනි දා ප්‍රථමයෙන් අනාවරණය කළා.

එය තවදුරටත් තහවුරු කරමින් මේවන විට ආසාදිතයින් හඳුණාගැනීමේ පරීක්ෂණ අතිශය අඩු මට්ටමකට පත් කොට ඇතැයි අප වෙත වාර්තා වෙනවා.

රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල නොමැති වීම නිසා මෙම තත්ත්වයට පත්ව ඇති බව යි පැවසෙන්නේ.

තියෙන ටික රැක ගැනීම

මෙවන් පසුබිමක අත්‍යාවශ්‍ය මොහොතක දී පමණක් කොවිඩ් 19 ආසාදිතයින් හඳුණාගැනීමේ පරීක්ෂණ සිදු කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශ දත්ත පෙන්වන්නේ පසුගිය දින 03 තුළ දී මෙරට තුළ සිදු කළ කොවිඩ් පරීක්ෂණ සංඛ්‍යාව 1,207කින් පමණ අඩු වී ඇති බව යි.

එමෙන්ම ආසාදිතයින් හඳුණාගැනීම සඳහා කැම්බල් පාක් ඇතුළු ස්ථාන කිහිපයක ස්ථාපිත කර තිබූ පරීක්ෂණ මධ්‍යස්ථාන ද වසා දමා ඇති අයුරු යි දක්නට ඇත්තේ.

මේ අතර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ සැපයුම්කරුවන්ට ලැබෙන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටලවල තොග ප්‍රමාණයන් සීමිත වී ඇති බව යි.

මීට පෙර එක් වරකට මිලියන ගණනින් ඇන්ටිජන් කට්ටල ලැබුණු නමුත් මේවන විට එම කට්ටල එක වරකට ලැබෙන්නේ පනස්දහසක් - ලක්ෂයක් වැනි ප්‍රමාණවලින් බව ඔහු අනාවරණය කළා.

එම නිසා එලෙස ලැබෙන ප්‍රමාණය සබුද්ධිකව භාවිත කළ යුතුව ඇති බවත්, ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය ද උපදෙස් ලබා දී ඇති බවත් ඔහු ප්‍රකාශ කරනවා.

කොවිඩ් පරීක්ෂණ මේ අයට පමණයි

සෞඛ්‍ය අංශ වෙත ලැබෙන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ප්‍රමාණයේ දරුණු පහළ වැටීමක් මෙලස සිදුව ඇති පසුබිමක කොවිඩ් ආසාදිතයෙකුදැයි පරීක්ෂා කොට හඳුණාගැනීම සිදු කළ යුත්තේ සමාජයේ කුමන පුද්ගලයින් සඳහා ද යන්න පිළිබඳ සීමා පැනවීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කොට ඇත්තේ පුදුම සහගත ලෙස යි.

මේ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සියළුම රෝහල්වලට සහ සෞඛ්‍ය සේවකයන් වෙත විශේෂ චක්‍රලේඛයක් යොමු කොට ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවා.

යම් පුද්ගලයෙකු කොවිඩ් ආසාදිත ද යන්න ක්ෂණිකව හඳුණාගැනීමට අවශ්‍යවන අවස්ථාවන්හීදී පමණක් ඇන්ටිජන් පරීක්ෂණයක් සිදු කළ යුතු බවට යි සෞඛ්‍ය අමාත්‍යංශය එම චක්‍රලේඛයට අනුව උපදෙස් ලබා දී ඇත්තේ.

තමන්ට කොවිඩ් රෝග ලක්ෂණ ඇත්නම් හෝ, තමන් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු බවට හඳුණාගත් මොහොතක දී තමන් හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත්දැයි පරීක්ෂා කරගැනීමට මෙරට පුරවැසියන්ට තිබුණු අවස්ථාව මින් මග නොහැරෙන්නේ ද යන්න ගැටළුවක්.

ජීවිත අවදානමක

මේ හරහා තමන් ආසාදිතයෙකු බව නොදැන සමාජයේ සැරිසරන ආසාදිතයින් ප්‍රමාණය අතිශය වැඩිවීම හරහා මෙරට කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව භයානක ලෙස ඉහළ යා හැකි බව සෞඛ්‍ය අංශවලට නොපෙනීම සැබැවින් විමතියට කරුණක් වනවා.

තව ද තමන් ආසාදිතයෙකු බව නොදැන තමන්ට ඇත්තේ සුළු සෙම් රෝගී තත්ත්වයක් හෝ සාමාන්‍ය උණ රෝගී තත්ත්වයක් බව සිතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු නොවන ජනතාව සිටින්නේ ජීවිත අවදානමක නොවෙයි ද?

ඇත්ත රෝගීන් ගණන, දත්තවලින් පෙනෙන රෝගීන් ගණනට වඩා වැඩි බව මීට පෙර ද සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළ පසුබිමක සෞඛ්‍ය අමාත්‍යංශයේ මෙම තීරණය හරහා සමාජය තුළ හඳුණා නොගත් රෝගීන් ගණන මේවන විටත් ඉහළ ගොස් තිබෙන බව නොරහසක්.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශය මෙවන් තීරණයක් ගෙන ඇත්තේ සංඛ්‍යාලේඛණ තුළ ද මෙරට කොවිඩ් ආසාදිතයින්ගේ ප්‍රමාණය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක යි.

සංඛ්‍යාලේඛණත් අහසට

එලෙස සංඛ්‍යාලේඛණ තුළ කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවට හඳුණාගෙන ඇත්තේ සිදුකරන සුළු පරීක්ෂණ ප්‍රමාණය හරහාවන අතර සැබෑ ආසාදිතයින් ප්‍රමාණය ඇදහිය නොහැකි සංඛ්‍යාවක් ද විය හැකි යි.

හඳුණාගෙන ඇති ආසාදිතයින් පිළිබඳ දත්තවලට අනුව මේවන විට මෙරට රෝහල් තුළ සහ නිවෙස් තුළ සිටින ආසාදිතයින් ගණන 24,000 ඉක්මවා ගොස් තිබෙනවා.

සැබෑ කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණය එම ගණන මෙන් කුමන ගුණයකින් වැඩි ද යන්න කිසිවෙකු නොදත් රහසක් වීම සැබැවින්ම අවාසනාවන්ත තත්ත්වයක් වනවා.

මේවන විට ආසාදිතයින් 60කට අධික ප්‍රමාණයක් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බව ද වාර්තා වෙනවා.

එමෙන්ම කොවිඩ් ප්‍රතිකාර සඳහාම වෙන් කොට ඇති මධ්‍යස්ථාන තුළ පිරී ඇති ඇඳන් ප්‍රමාණය 7,000 සීමාවට ලඟා වෙමින් පවතින බව සඳහන්.

අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් IDH රෝහල තුළ ආසාදිතයින් 100කට අධික ගණනක් ප්‍රතිකාර ලබන බව ද වාර්තා වූවා.

ළමුන් අතර කොවිඩ් පැතිරෙයි

මේ අතර අතර රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ ආසාදිත ළමුන් 120ක් පමණ ප්‍රතිකාර ලබනවා.

සිදු කෙරෙන පරීක්ෂණ ප්‍රමාණය හරහා රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පමණක් දිනකට කොවිඩ් ආසාදිත දරුවන් 20 - 30 අතර ප්‍රමාණයක් වාර්තා වෙමින් පවතින බව එම රෝහලෙහි අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා අනාවරණය කරනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මීට මාසයකට පමණ පෙර සතියක කාලයක් තුළ ළමුන් 4 - 5ක් වැනි ගණනක් ආසාදිත බවට හඳුණාගත් බව යි.

පවතින තත්ත්වය හේතුවෙන් ළමා රෝහල තුළ වාට්ටු 04ක් කොව්ඩ් ප්‍රතිකාර සඳහා වෙන් කිරීමට සිදුව ඇති බව ද ඔහු සඳහන් කළා.

රැපිඩ් හිඟයේ සැබෑ හේතුව

මේ අතර මෙලෙස කොවිඩ් පරීක්ෂණ කට්ටලවල දරුණු හිඟයක් සිදු වීමට රටට බලපා ඇති ඩොලර් හිඟය හේතු වී ඇති බව මීට පෙර වාර්තා වූවා.

කෙසේ වෙතත් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලබණ්ඩලය අනාවරණය කරන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය පවත්වාගෙන යන ඒකාධිකාරය රැපිඩ් ඇන්ටිජන් කට්ටලවල හිඟයට බලපා ඇති බව යි.

රැපිඩ් ඇන්ටිජන් කට්ටල නිපදවන ආයතන 200කට අධික ගණනක් මේවන විට ලෝකයේ පවතින බවත්, ඇතැම් පරීක්ෂණ කට්ටල සාමාන්‍ය ජනතාවට නිවසේදීම භාවිත කළ හැකි පරිදි “හෝම් ටෙස්ට්” කට්ටල ලෙස සකසා ඇති බවත් එම බලබණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පෙන්වා දෙනවා.

ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ එම “හෝම් ටෙස්ට්” කට්ටල එකක් හෝ මෙරටට ගෙන ඒමට ඖෂධ නියාමන අධිකාරිය ඉඩ ලබා දී නොමැති බව යි.

“ඒ ඒකාධිකාරය නැති වුණා නම්, අඩුම ගාණේ ආණ්ඩුවට බැරි එක ලෙඩ්ඩු, රටේ මහජනතාව තමන්ගේ වියදමෙන් හරි ක්ෂණික ප්‍රතිදේහ කට්ටලයක් අරගෙන හෝම් ටෙස්ට් එකක් විදිහට තමන්ගේ පරීක්ෂාව කරගන්න තත්ත්වයකට පත් කරන්න තිබ්බා” යනුවෙන් ඔහු පවසා සිටියා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 10 February 2022 15:22