April 24, 2024

අය-වැයට පසු විපරමක්

December 01, 2021

පොදු ජන පෙරමුණ රජයේ දෙවන අය-වැය පසුගියදා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. සාමාන්‍යයෙන් අය-වැය ලේඛනයක් යනු රජයක ඉදිරි වසර සඳහා සකසන ආදායම් වියදම් ඇස්තමේන්තුවකි.

වියදම් ප්‍රවාහයන් තුළ රජය ඉදිරි වසරක කාලයක් තුළ දී සිදු කිරීමට නියමිත රජයේ වැටුප් හා දීමනා ගෙවීම් වලට අමතරව ඉදිරියේ දී අමාත්‍යාංශ මට්ටමින් සිදු කිරීමට නියමිත ව්‍යාපෘතින් සඳහා මුදල් වෙන් කිරීමක් සිදු කරනු ලබයි. ඒ හා සම්බන්ධ සමුපූර්ණ වියදම් ඇස්තමේන්තුවක් වියදම් ශීර්ෂය යටතේ ඉදිරිපත් වේ. උදාහරණයක් ලෙස රජය මෙවර මහමාර්ග අමාත්‍යංශයට රු.බි. 280 ක් වෙන් කර තිබේ. එසේම එම වියදම් පියවාගන්නේ කෙසේද යන්න පිළිබඳවත් අය-වැය ලේඛනය තුළින් ඉදිරිපත් කෙරේ.

උදාහරණයක් ලෙස ගතහොත් මත්පැන් හා සිගරට් මත පනවන බදු මගින් රු.බි. 33 ක ආදායමක් අපේක්ෂා කරන බව පෙන්වා දෙයි. මෙහිදී රජය වියදම් පියවා ගැනීමට අපේක්ෂිත ආදායම් මාර්ග පෙන්වා දී තිබේ. ඒ අනුව මෙවර අය-වැයෙහි මුළු රජයේ වියදම රු.බි. 3,912 ක් වන අතර රජයේ ආදායම රු.බි. 2,284 ක් පමණ වන බව ඇස්තමේන්තු කර තිබේ. 2022 මෙම අය-වැයෙහි අය-වැය හිඟය රු.බි.1,628 වේ. 2021 වර්ෂයේ අය-වැය හිඟය රු.බි. 1,826 සිට 1628 දක්වා රු.බි. 198 කින් අඩුකර ගෙන තිබේ. ඒ අනුව 2022 වර්ෂයේ අය-වැය දළ දේශීය නිෂ්පාදිතයේ අගයක් ලෙස සියයට 11.1 සිට සියයට 8.8 දක්වා අඩුකර ගැනීමට හැකියාව ලැබී තිබේ. නමුත් මෙම අගය තවදුරටත් සියයට 5 මට්ටමකට ගෙන ආ යුතු බව පෙන්වා දිය යුතුය. එසේනම් අය-වැය හිඟය පියවා ගන්නේ කෙසේද ? මුළු විදේශ ණය මගින් එනම් රු.බි. 179 ක් ද, දේශීය මූලාශ්‍ර මගින් රු.බි. 1,807 කින් ද එය රැස් කිරීමට නියමිතය. මෙවැනි ආර්ථිකමය වශයෙන් අසීරු මෙහොතක මෙය අභියෝගාත්මක කාර්යයක් වන බව කිව යුතුය.

අය-වැය තුළින් ආණ්ඩුව ඉදිරියේ ඇති අභියෝග හඳුනාගැනීමට උත්සාහ කර තිබේ. එයින් ගෝලීය පොදු අභියෝග, ජීවන වියදම් වැඩිවීමේ සැබෑ අභියෝග, යල් පැන ගිය ආර්ථික මෙවලම්, වෙළඳ ආර්ථීකයක් මත යැපීම තුළින් ඇති වී බර, විදේශ විනිමය ඉපයීමේ අභියෝග, රාජ්‍ය ණය ප්‍රතිපත්තිය, විදේශ සංචිත කළමනාකරණය, අපනයන වර්ධන හැකියාවන් ප්‍රමාණයන් ලෙස හඳුනාගැනීම, ණය නොවන මාර්ග වලට ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම, ආනයන ආදේශන පුළුල් කිරීමේ වැදගත්කම, විදේශ ආයෝජන දිරි ගැන්වීමේ ක්‍රමවේදයේ ඇති දුර්වලතා, පොදු සමාජ හා ආර්ථික ගැටළු, ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමේ වැදගත්කම, ආර්ථිකයට බරක් වී ඇති රාජ්‍ය ව්‍යවසාය ආදී වශයෙන් ඉදිරියේ දී ඇති ආර්ථික, සමාජීය ගැටළු හඳුනාගෙන තිබේ.

රාජ්‍ය වියදම් කළමනාකරණය

රජය තවදුරටත් රජයේ වියදම් කළමනාකරණය කිරීමට උත්සාහ දරමින් පවතී. රජයේ ආයතන සඳහා වෙන් කර ඇති මුදල් භාවිතයේ දී රාජ්‍ය ආයතන වලට වියදම් කිරීමට මුළු වර්ෂය සඳහා දෙනු ලබන බලය කාර්තුවෙන් කාර්තුවට නිකුත් කිරීම ඉදිරියේ දී සිදු වෙයි. අමාත්‍යංශ වලට වෙන්කරන ලද මුදල් හා ඒවායේ ප්‍රගතිය මනාව සමාලෝචනය කිරීම ඉතා වැදගත් වේ. පසුගිය වසරේ දී අය-වැය තුළින් යම් යම් අමාත්‍යාංශ වලට ලබාදෙන ලද මූල්‍ය ප්‍රතිපාදන අනවශ්‍ය වියදම් සඳහා යෙදවීම, ව්‍යාපෘතින් ක්‍රියාත්මක නොවීම, මන්දගාමීව කටයුතු කිරීම මෙයින් වැළකෙන බව පෙනේ.

ඒ අනුව වෙන් කරන ලද මුදල් වල ප්‍රගතිය කාර්තුවෙන් කාර්තුවට මුදල් අමාත්‍යංශය සමාලෝචනය කළ යුතුය. රාජ්‍ය ව්‍යවසායන් තුළ පවතින යල් පැන ගිය ක්‍රමවේදයන් ඉවත් කොට ඒවා පුළුල් ව්‍යාපෘති නැඹුරුවක් සඳහා යොමුකිරීම සඳහා අය-වැය තුළින් යෝජනා වී තිබේ. එසේ වැටුප් ගෙවීම්, නඩත්තු සඳහා යොදවන වියදම් ප්‍රාග්ධන ආධාර වශයෙන් ගෙන පෞද්ගලික සේවාවන් සඳහා යෙදවීම මගින් ආදායමේ ඉපදවීමට උනන්දු කර තිබේ. ඒ අනුව රජයේ ආයතන නඩත්තුව සඳහා එම ආයතන මගින් ම මුදල් උපයීමට උනන්දු කර තිබේ.

බොහෝ අමාත්‍යාංශ, ආයතන නියමාකාරයෙන් ඉදිරි වර්ෂය සඳහා වියදම් ඇස්තමේන්තු නොකිරීමත්, අහම්බෙන් ඇති කරන (unplanned project) නිසා හෝ වියදම් තක්සේරුවල පවත්නා දැඩි අසමානතා නිසා පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමට සිදු වී තිබේ. මේ අනුව ඉදිරියේ දී එම පරිපූර්ණ ඇස්තමේන්තු ඉදිරිපත් කිරීම වැළකී ගොස් තිබේ. රජයේ වියදම් සීමා කිරීමට ගත් දැඩි පියවරක් ලෙස මෙය දැකිය හැකිය. තවත් ලෙසකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වියදම් සීමා කිරීම සඳහා ඉන්ධන දීමනා ලීටර් 05 කින් අඩුකිරීම, රාජ්‍ය ආයතන වල දුරකතන වියදම සියයට 25 අඩුකිරීම, විදුලි බලය සඳහා යන වියදම් සීමා කිරිමට යෝජනා කරයි. මෙයට අමතරව මේ අවස්ථාවේ දී ජනතාව බලාපොරොත්තු වන්නේ ඉහළ සිට පහළට වියදම් සීමා කිරීමේ ක්‍රමවේදයකි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, අමාත්‍යවරුන්ගේ වියදම් සීමා කොට රටේ ජනතාවට ආදර්ශයක් සැපයිය යුතු බැවින් හුදු මහජනතාවගේ අදහස වන්නේ ලීටර 5 කින් ඉන්ධන දීමනා අඩුකිරීම මගින් වියදම් සීමා වන්නේ නැත. ඒ සඳහා අඩුම තරමින් ඉන්ධන දීමනාම සියයට 25 කින් වත් අඩුකළ යුතුය. ඉන්ධන වියදම් සඳහා උපරිම සීමාවක් පැනවීම, පෞද්ගලික දුරකතන වියදම් සීමා කිරීම, සියලු මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට ලබාදෙන සියලු දීමනා සියයට 20 කින් කප්පාදු කිරීම, පාර්ලිමෙන්තුව නඩත්තුව සඳහා යන සමස්ත වියදම් සියයට 30 කින් කප්පාදු කිරීම වැනි යෝජනා ක්‍රියාත්මක කළහොත් විශාල මුදලක් ඉතිරි වන්නා සේම රටට පුළුල් ආදර්ශයක් සපයනු ඇත.

මා කිහිපවිටක් ලිපි මගින් පෙන්වා දුන් පරිදි රාජ්‍ය සේවකයාගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා රාජ්‍ය සේවකයන් සඳහා (KPI) කාර්ය සාධන දර්ශකයක් හඳුන්වා දීම තවදුරටත් කල්මැරිය යුතු නොවේ. පොදු කාර්ය සාධකයකට වඩා රාජ්‍ය සේවයේ වෙනස්වන තනතුරු අනුව කාර්ය සාධන පත්‍රිකාවක් සකස් කළ යුතුය. අනෙක් අතට 2022-2024 මධ්‍යයකාලීන අය-වැය රාමුව සඳහා සංවර්ධන පරමාර්ථ, අරමුණු හා ඉලක්කගත වැඩසටහන් වල ප්‍රගතිය අධීක්ෂණය සඳහා ඒ හා බද්ධ ප්‍රතිඵල පාදක ඇගයීම් කළමනාකරණය ක්‍රමවේදයක් හඳුන්වාදීම ඉතා වැදගත් යෝජනාවකි.

‍රජයේ ආදායම් ශක්තිමත් කිරීම සඳහා තවදුරටත් යල් පැන ගිය ආදායම් බදු දෙපාර්තමේන්තුවට හැකියාවක් නැත. ඒ අනුව ආදායම් බදු දෙපාර්තමේන්තුව ඉතා ඉක්මනින් ප්‍රතිසංවිධානය කළ යුතුය. ඉතා කාරයක්ෂමව බදු එක්රැස් කිරීම, පරපාලනය, කළමනාකරණය සඳහා යෝජනා කර ඇති ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියක් (RAMIS) ඉතා ඉක්මනින් ක්‍රියාවට නැංවිය හැකි මාර්ගයන් සොයා ගත යුතුය. ඉදිරියේ දී මේ තුළින් ඉතා සාර්ථකව හා විනිවිදභාවයකින් විශාල ආදායම් බදු ප්‍රමාණයක් එක් රැස් කළ හැකිය.

නිෂ්පාදන ආර්ථිකයක් කරා ගමන් කිරීම

රජය සේවා ආර්ථිකයේ ඵලදායිතාව උපරිම අයුරින් භාවිත කරමින් නිෂ්පාදන ආර්ථිකයක් කරා ගමන්කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වී තිබේ. ඒ අනුව රට තුළ ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ව්‍යාපාර ලියාපදිංචි ගාස්තු අය නොකරමින් වැඩියෙන් විශේෂයෙන් තරුණ කොටස් ව්‍යාපාර සඳහා යොමුකිරීමට දිරිගන්වා තිබේ. තවද ආයෝජන මණ්ඩලය, විනිමය කළමනාකරණ දෙපාර්තමේන්තුව, අපනයන සංවර්ධන මණ්ඩලය වැනි ආයතනවල ක්‍රියාකාරීත්වය තවදුරටත් නිවැරදි විය යුතු බව රජය හඳුනාගැනීම ඉතා වැදගත් වේ. දේශීය එළවළු නිෂ්පාදන, දේශීය ඖෂධ නිෂ්පාදනය දිරි ගැන්වීම, ඇඟළුම් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය දේශීය නිෂ්පාදනය ඖෂධ නිෂ්පාදනය ඉහළ දැමීම හා නව වෙළඳපළවල් සොයාගැනීම මගින් විදේශ විනිමය ඉලක්කයන් කරා ගමන් කළ හැකිය.

නිෂ්පාදන ආර්ථිකයක් සඳහා වැදගත් වන්නා වූ මුලික හරය වන්නේ නිෂ්පාදන වියදම අඩුකර ගැනීමයි. නිෂ්පාදනය සඳහා වන්නා වූ ප්‍රධාන වියදම් වන්නේ යෙදවුම් මිළ, ප්‍රවාහන ගාස්තු, වැටුප්, විදුලි බලය, තාක්ෂණය යනාදියයි. මෙහිදී ආයෝජකයන්ට තම නිෂ්පාදන වියදම අවම කරගැනීම සඳහා රජයට පහසුකම් සැපයිය හැකි ක්‍රම කිහිපයක් පවතී. රටේ මාර්ග පද්ධතිය දියුණු කිරීම මගින් ප්‍රවාහන වියදම් අඩුකිරීම හා ප්‍රවාහනය කාර්යක්ෂම කිරීම, පිරිවැය අඩු විදුලිය සඳහා පහසුකම් සැපයීම, අන්තර්ජාල තාක්ෂණය සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම. මෙම නිසා නිෂ්පාදන වියදම අඩුකොට තම නිෂ්පාදන ලෝක වෙළඳපළේ තරග කළ හැකි පරිදි හොඳ මිළක් නිර්මාණය කරගත හැකිය. ඒ සඳහා රජය මෙම අය-වැය තුළින් පහසුකම් සපයා ඇති බව පෙනේ. එනම් අධිවේගී මාර්ග පද්ධතිය හා ග්‍රාමීය මාර්ග පද්ධතිය පුළුල් කිරීම සඳහා රු.මි. 270 ක් වෙන් කර තිබේ. එය මුළු අය-වැය වියදමින් සියයට 30 අධික ප්‍රමාණයකි.

පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය සඳහා වෙන්කර ඇති රු.මි. 190 අමතර වශයෙන්තවත් රු.මි. 500 ක් වෙන් කර තිබේ. රාජ්‍ය සේවාවන් ඩිජිටල් කරණය සඳහා වෙන්කර ඇති රු.මි. 3500 අමතර වශයෙන් රු.මි. 500ක් වෙන් කිරීම මතින් රාජ්‍ය සේවය තවදුරටත් කාර්යක්ෂම කිරීම අපේක්ෂා වී තිබේ. මේ තුළින් ඉදිරියේ දී නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැංවීම උදෙසා යම් උත්තේජනයක් අපේක්ෂා කරයි.

ජාතික ආර්ථික සංවර්ධනය

මෙම අය-වැය තුළ ක්ෂේත්‍ර 10 ක් ආවරණය වන පරිදි ජාතික සංවර්ධන වැඩසටහන් පෙළගස්වා තිබේ. මෙම ක්ෂේත්‍රයන් 10 සඳහා කෘෂිකාර්මික ක්ෂේත්‍රය, වස විසෙන් තොර වල් නාෂක ක්‍රම දිරි ගැන්වීම, කාබනික පොහොර භාවිතය දිරිගැන්වීම, නව කෘෂි තාක්ෂණය හඳුන්වා දීම, වැවිලි ක්ෂේත්‍රය, ධීවර හා ජලජ ජීවීන් ක්ෂේත්‍රය, පශු සම්පත් ක්ෂේත්‍රය, පාරම්පරික ගෘහ කර්මාන්ත, අත්යන්ත්‍ර, බතික් ඇතුළු පේෂ කර්මාන්ත, නව නිෂ්පාදන ආයෝජන කලාප, ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කලාප, මූලික යටිතල පහසුකම් සංවර්ධනය, පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය කිරීම, නිවාස හා නාගරික සංවර්ධනය, ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යන ක්ෂේත්‍රයන් වල කඩිනම් පුළුල් සංවර්ධනයක් සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දී කඩිනම් සංවර්ධනයක් අපේක්ෂා කරනු ලබයි.

ජනතා සහන

මෙම අය-වැය තුළින් ජනතාව සුපුරුදු ලෙස බඩු මිළ අඩු වේ යැයි අපෙක්ෂා කළ ද බඩු මිළ අඩුකල නොහකි වි තිබේ. භාණ්ඩ වල බදු අඩුකිරීම මගින් බඩු මිළ අඩු වෙතැයි අපේක්ෂා කළ ද රජයට මේ අවස්ථාවේ දී බදු සහන ලබාදිය නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ. ලෝකයේ බොහෝ රටවල භාණ්ඩ මිළ වැඩි වෙමින් පවතී. කෙසේවෙතත් අය-වැය තුළින් තෝරාගත් ක්ෂේත්‍රයන් සඳහා සහනයන් ලබාදීමට උත්සාහ කර තිබේ. ඒ අනුව රට වසා දැමූ කාලය තුළ දී ආදායම් අහිමි වූ පාසල් වෑන් රථ හිමියන් සඳහා සහන සැලසීම සඳහා රු.මි. 400 ක් ද, රට වසා දැමූ කාලය තුළ දී ආදායම් අහිමි වූ ත්‍රී රෝද රථ හිමියන් සහන සැලසීම සඳහා රු.මි.600 ක් ද, රට වසා දැමූ කාලය තුළ දී ආදායම් අහිමි වූ විශේෂ ක්ෂේත්‍රයන් සඳහා (උත්සව සේවා සපයන අංශයන්/ මෙවලම් සම්පාදකයින්) සහන සැලසීම සඳහා රු.මි.500 ක් වෙන් කර තිබේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රය තවදුරටත් දියුණු කිරීම සඳහා වෙන් කර ඇති රු.බි. 32 ට අමතරව තවත් රු.මි. 500 ක් වෙන් කර තිබේ. මගී ප්‍රවාහනය දියුණුකිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා රු.මි. 2000 ක් වෙන්කර තිබේ. මෙහිදී තවත් විශේෂ යෝජනා දෙකක් දැකිය හැකිය. එනම් රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය සේවකයන් සඳහා යතුරු පැදි ලබාදීම සඳහා රු.මි. 500 ක් වෙන්කර ඇති අතර උපාධිධාරින් 53, 000 ස්ථිර කිරීම සඳහා ඔවුන්ට වැටුප් ගෙවීම වෙන්වෙන් රු.බි. 27 ක් වැය වන බව ගණන් බලා තිබේ.

විවේචන හා යෝජනා 

මෙම අය වැය තුළින් රාජ්‍ය සේවයේ විශ්‍රාම ගැන්විය යුතු වයස් සීමාව අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට යෝජනා කර තිබේ. මෙම යෝජනාව සම්බන්ධයෙන් සමාජය තුළ විවේචනයන් ඉදිරිපත් වෙමින් පවතී. සෑම රාජ්‍ය සේවකයෙකුම අවුරුදු 65 දක්වා විශ්‍රාම දිවිය සිටීම ප්‍රායෝගික නොවන බව පෙනේ. මෙය සිදු විය යුත්තේ තෝරාගත් ක්ෂේත්‍ර සදහා සීමා වීම ඉතා වැදගත් වේ. අනෙක් අතට ය ම් කිසි රාජ්‍ය සේවකයෙකු තමන්ට අවුරුදු 60 දී විශ්‍රාම යා යුතු යැයි සිතන්නේ නම් ඒ සඳහා ඉඩ කඩ සැලසීම හා තමන් අවුරුදු 65 දක්වා සේවයට කැමති නම් එය ලිඛිතව දක්වා අවශ්‍ය නම් අනුමැතියකින් පසු ඒ සඳහා ඉඩ කඩ සැලසීම ඉතා වැදගත් වේ.

තවත් විරෝධතාවයක් වන්නේ කාබනික පොහොර භාවිතය නිසා අස්වැන්න අඩුවන විට ඒ සඳහා වන්දි ලබා දීමට ප්‍රතිපාදන වෙන් කර නොමැති බවයි. කබනික පොහොර අර්බුදය ඉතා කඩිනමින් විසද ගතයුතුය තවත් ලෙසකින් විදෙස් ආයෝජන දිරිමත් කිරීමටත්, විදෙස් ආයෝජන ඉහළ නංවා ගැනීමටත් අවශ්‍ය පහසුකම් අයවැය තුළ සඳහන් වීනොමැති බවයි. සාමාන්‍යයෙන් විදෙස් ආයෝජන දිරි ගැන්වීමට අය වැය තුළින් බදු සහන ලබා දීම සිදු වන දෙයයි. නමුත් අලුතින් බදු සහන ලබා දීමට අවශ්‍යනොවන බවත්, විදෙස් ආයෝජනයන් ආකර්ශනය සඳහා ප්‍රමාණවත් පහසුකම් දැනටමත් පවතන බව බොහෝ පිරිස් නොදන්නා කරුණකි.

මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළ පරිදි අපට තවදුරටත් යල්පැනගිය ආර්ථික මෙවලම් හා ක්‍රියාකාරකම් මගින් රටක් තවදුරටත් ඉදිරියට ගමන් කළ නොහැක. අප ඉදිරියට යාමට අලුත් මාවත් සොයා ගත යුතුය. විශේෂයෙන් රාජ්‍ය අංශය තුළින් සපයනු ලබන සේවාවන් සාර්ථකව පවත්වා ගැනීමත් ඒවායේ ඵලදායීතාව ඉහළ නැංවීමත් සිදුකරමින් පෞද්ගලික අංශය පුළුල් කිරීම හා පෞද්ගලික අංශයේ දායකත්වය ඉහළ නැංවීම රජය පහසුකම් සැපයීම ඉතා වැදගත් සාධකයකි. තවදුරටත් යල් පැන ගිය ආයෝජන මණ්ඩලයකින් එම කාර්යය සිදු කළ නොහැක. ආයෝජන මණ්ඩලයේ කටයුතු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා ඍජුවම මැදිහත් විය යුතුය. තවදුරටත් ආයෝජකයින් මාස ගණනාවක් රස්තියාදු කළ නොහැක. ආයෝජනයේ ප්‍රමාණය නොව එහි වැදගත්කම පිළිබඳ එම නිලධාරීන්ට දැනුමක් නැත.

කෙසේ හෝ ඉදිරි වසර ලංකාවේ ආර්ථිකයට අභියෝගාත්මක කාලයකි. රට ගොඩනැංවීමට මෙයට වඩා ජනතාව රජයට සහය දැක්විය යුතුය. ඉදිරියේ දී තෙල් හිඟ විය හැකිය. ගෑස් හිඟ විය හැකිය. කිරිපිටි හිඟ විය හැකිය. ලෝක යථාර්ථය තේරුම් ගැනීම ඉතා වැදගත් වේ. පොදුවේ ලෝකයේ රටවල් මුහුණ දී ඇති ආර්ථික කඩා වැටීම් වටහා ගත යුතුය. රජය කළ යුතු වන්නේ ප්‍රායෝගික නොවනා ගැසට් ගැසීම නවතා කාබනික පොහොර ජවනිකා වලින් ඉවත් වී සැබෑ අර්බුදයන්ට පිළිතුරු සෙවීමයි. ප්‍රායෝගිකව කටයුතු කරන රජයක වගකීම දැන්වත් වටහා ගත යුතුය.

චිත්‍රාල් ජයවර්ණ
ආර්ථික විශ්ලේෂක / ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාවේ සාමාජික

Rate this item
(0 votes)
Last modified on Wednesday, 01 December 2021 15:00