April 18, 2024

ශ්‍රීලනිපය ගොඩනගන්න බණ්ඩාරනායකට සහය දුන් යුග පුරුෂයා

February 26, 2022

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීමට මුල් වූ යුග පුරුෂයා රාජනීතිඥ එච්.ශ්‍රී. නිශ්ශංක මහතාගේ පෙබරවාරි 26ට යෙදෙන 68 වන ගුණ සමරුව වෙනුවෙන් ලියූ ලිපියකි.

ශ්‍රී ලංකාව විසින් බිහිකොට ඇති මහ පුරුෂ නාමාවලියේ ප්‍රමුඛයකු වන රාජ නීතිඥ හර්බට් නිශ්ශංක මෙන්ඩිස් (එච්.ශ්‍රී. නිශ්ශංක) මහතාගේ ජීවන ගමන් මඟ ප්‍රායෝගිකව බොදු සාරධර්මවලින් සවිමත් කරගත්තේ ය.  හෙතෙම සරළ ගැමිකමට වඩාත් ඇළුම් කළ මිළ මුදලට තම ආත්මය පාවා නොදුන් රටට ණය නැති සැබෑම යුග පුරුෂයකු ලෙස ඉතිහාස ගතවන්නේ ය.

පෘතග්ජන මනුෂ්‍යයෝ වුනාම ධනය, බලය, තනතුරු අත්හරින්න හරිම අපහසුය.  ඒත් අප  කථා නායකවරයා තමා ගොඩනැඟු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එංගලන්තයේ ඔක්ස්ෆඩ් සරසවියේ එකට ඉගෙනගත් විශ්වාසවන්ත මිතුරා වූ බණ්ඩාරනායකයන්ට බාර දෙන්න තරම් නිර්ලෝභීවීම ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමකි.

නිහඬ විද්වතකු වූ නිශ්ශංක දිවේරිස් මෙන්ඩිස්  හා අනෝමා වික්‍රමරත්න සොයිසා ළමාතැනීට දාව සොහොයුරියන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා ලෙසින් වර්ෂ 1898දක්ෂිණ දේශයේ බලපිටිය සුප්‍රකට ගරුමුණි වලව්වේ දී උපත ලැබීය. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනයත්, රාජකීය විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලද මෙතුමා වැඩිදුර නීතිය හැදෑරීම සඳහා මව්පිය ඥාතී පිරිසගෙත්, වෙසෙසින්ම ශ්‍රීමත් ඩි.බී. ජයතිලක මැතිඳුන්ගේ මඟපෙන්වීම යටතේ එංගන්තයේ ඔක්ස්ෆඩ් සරසවියට ඇතුලත් විය.  එහිදී බණ්ඩාරනායක හමු වූ අතර ඔහු ද නීතිය හැදෑරීමට ගොස් සිටියේය.  වැඩි කාලයක් යාමට ප්‍රථම දෙදෙනා ලෙන්ගතු මිතුරෝ වූහ. 

නීතිය හැදෑරීමට එංගලන්තයට යාමට ප්‍රථම සිව් වසරක් තාවකාලික පැවිද්ද ලබා බුරුමයේ දී බුදු දහම හා භාවනා ක්‍රම පිළිබඳ මැනවින් හැදැරු මොහුට යම් කෙනෙකුගේ දේහ ලක්ෂණ අනුව අනාගතය දැකීමේ විශ්ව ශක්ති බලයක් පැවතිනි.  තම සමීප මිතුරාගේ සුවිශේෂි ලක්ෂණ හඳුනාගත් මෙතුමා පියවරෙන් පියවර බටහිර චින්තනය වෙනුවට ශ්‍රීලාංකීය දේශයට ගැලපෙන (බණ්ඩාරනායක) කෙනෙක් ගොඩනැංවූයේ අවංක මිතුරකු හා ගුරුවරයකු ලෙසිනි. 

නීති උපාධිය ලැබීමෙන් පසු ලංකාවට පැමිණ අපරාධ නඩු සම්බන්ධව 30, 40 දශකයේ සිටි පළමු පෙළේ නීතිවේදියෙකු ලෙස තම කීර්ති නාමය ශ්‍රී ලංකාවේ සිව් දිශාව පුරාම ප්‍රචලිත වන අයුරින් ක්‍රියා කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනපති ජේ.ආර්.ජයවර්ධන මහතා පවා මෙතුමා යටතේ කණිෂ්ඨ නීතිඥයෙකු ලෙසින් පුහුණුව ලැබූ බැව් ප්‍රකාශ කර ඇත.  ප්‍රගතිශීලී අදහස් ඇති නායකයෙක් ලෙසත්, පැසුණු බුද්ධියක් ඇති දේශ ප්‍රේමියෙක් ලෙසත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැමති ගැමි ජනයාගේ හදවතට සමීප පක්ෂය ගොඩනැඟූ සැබෑ නිර්මාතෘවරයා ලෙසත් රාජ නීතිඥ එච්.ශ්‍රි. නිශ්ශංක හඳුන්වන්න පුළුවන් යැයි මෙරට ජ්‍යෙෂ්ඨ පරිපාලන නිළධාරියකු මෙන්ම පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් ලේකම්වර‍යා වූ අධිනීතිඥ සෑම් විජේසිංහ ශූරීන් වර්ෂ 2012 නිශ්ශංක ගුණ සමරුවට එක්වෙමින් පැවසීය.  හෙතෙම මෙසේද සඳහන් කරමින් සැබෑවටම, රටට ආදරය කළ පුරුෂයෙක්, දේශීය මෙන්ම ජාත්‍යන්තරව විවිධ විෂයන් සම්බන්ධ විශාල දැනුම් සම්භාරයක් තිබුණි.   අපේ භද්‍ර යෞවන වියේදී එතුමාගේ දේශණවලට සවන්දී තිබෙනවා.  ජාතිවාදී, ආගම්වාදී අරගල දුර දිග යන්න නොදී විසඳු ආකාරය පැසසුම් සහගතයි. 

මේ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයා වර්ෂ 1954 දී වයස 54 සපිරෙත්ම හදිසි අභාවය නිසා බණ්ඩාරනායක මහතාට නිවැරදි අවංක මිතුරකු, උපදේශකයකු නැති වන අතර, එය ඔහුගේ අනාගත දේශපාලන දිවියට බලපෑවා.  ශ්‍රී නිශ්ශංක පිළිබඳ නිවැරදි කියවීමක් හරිහමන් වැටහීමක් තවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළවත් නොමැතිවීම කණගාටුවට කරුණකි.  පක්ෂය ගොඩනැගීමේදී භාවිතා කළ පෑන, මේස පුටු කිරුළුපන යමුණා මන්දිරයේ වර්තමානයේ “ යමුණා ආශ්‍රමයේ ” සුරැකිව පවතී.  මෙවැනි දෑ සංරක්ෂණය කිරීමට පක්ෂ වගකිවයුත්තෝ කටයුතු කරන්නේ නම් ඉතා අගනේය.

අප පළාතේ ප්‍රභූවරයකු වූ නිශ්ශංක මහතා හමුවීමට දෙස් - විදෙස් මහා සඟරුවන දේශපාලන නායකයන්, ප්‍රභූවරුන්, කවීන්, පුවත් පත් කලාවේදීන් යමුණා මන්දිරයට පැමිණෙන ආකාරය අසල්වැසියකු වශයෙන් මා විසින් දැක තිබෙනවා යැයි ප්‍රවීන ගී පද රචක සුනිල් සරත් පෙරේරා පවසයි.  ශ්‍රී නිශ්ශංක මහතාට දේශපාලනික ආගමික, සමාජික මෙහෙවර සිදුකිරීමට උපරිම නිදහස තම ආදරණිය බිරිඳ වූ මියුරියල් නිශ්ශංක මැතිණිය ලබා දුන්නා.  යමුණා, ගීතා, රංජිත් යන දූ දරුවෝ අතර ඉකුත් වර්ෂයේ වැඩිමහල් දියණී යමුණාදේවී නිශ්ශංක කරුණාරත්න මැතිණිය වයස 97 ආයු වින්ඳනය කරඅභාවයට පත්වූවාය.  ආචාර්ය අවන්ති නිශ්ශංක කරුරත්න, මහාචාර්ය රන්දිව් නිශ්ශංක කරුණාරත්න, රංජිත් අබේසේකර, දේවිකා වික්‍රමරත්න ප්‍රමුඛ මුණුපුරු මිණිපිරියෝය.  නිශ්ශංක නාමය ඉදිරියට ගෙනයමින් නිශ්ශංක සමරු සංසදය එක්ව සමාජ මෙහෙවරේ නිරතව සිටීම සතුටට කරුණකි.

කොළඹ වැල්ලවත්ත බල ප්‍රදේශයේදී සිංහල, දමිළ, මුස්ලිම් ප්‍රධාන විවිධ ජන කොටස්වල බලවත් ඉල්ලීම පරිදි නිතරඟයෙන් නාගරික මන්ත්‍රී පදවියට පත්වුණා.  එසේම ශ්‍රී ලංකාවේ පළමු පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට කුරුණෑගල ජනතාවගේ බහුතර ඡන්දයෙන් තේරී පත්වීම ඉතිහාසගත සිදුවීමකි.  සමස්ථ ලංකා බෞද්ධ සම්මේලනයේ සභාපතිවර‍යා ලෙසින් තේරී පත්වුණ අතර, රජයේ වගකිවයුතු නිළතල රැසක් ඉසිළුහ.  ලංකාව නියෝජනය කරමින් විදෙස් රටවල පැවති සම්මන්ත්‍රණවලට එක්වෙමින් මෙරටට කීර්තියක් අත්කරදීමට සමත්ව ඇත.  ග්‍රන්ථ කතුවරයෙකු ලෙසින්ද දක්ෂතා දක්වා ඇති අතර ලංකා දණ්ඩ නීති සංග්‍රහය, එංගලන්ත ඉතිහාසය සල්ගල පුදබිම, ඇතුගල්පුර සටනද, “සංඛනාදය හා හෙළදිව” යන පුවත්පත් සංස්කරණය කරමින් සද්මෙහෙවරක නිරත විය.

තමාගේ නමේ මුලකුරුවන ශ්‍රී.නි.උපයෝගි කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනඟා එහි වර්ණය, ලාංඡනය හා ව්‍යවස්ථාව සකස්කර පක්ෂය  ඉදිරියට ගෙනයාමට තම සමීප මිතුරා වු බණ්ඩාරනායකට පැවරු බෝධිසත්ව ගතිගුණවලින් හෙබි මෙතුමා සැබැවින්ම ලාංකීය දේශපාලනයේ මහත්මා චරිතයකි.  රට දැය සමය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් කළාසේම වත්මන් බෞද්ධ ප්‍රබෝධයේ මුල් පෙලේ ආදර්ශමත් නායකයෙකු වූ මෙතුමා වර්ෂ 1954 පෙබරවාරි 26 දා වයස 54 සපිරෙත්ම තම යමුණා මන්දිරයේ බුදුරුව දෙස බලාගෙන අවසන් හුස්ම හෙලීය.

මෙතුමාගේ 68 වන ගුණසමරුවට සමගාමීව කොළඹ, දෙමටගොඩ නාගදීප ශාඛා විහාරස්ථ දහම් මන්දිරයේදී විහාරාධිපති බලපිටිය, බ්‍රහම්මන්වත්තේ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති සිරිධම්ම හිමියන්ගේ අනුශාසන පරිදි ඉගෙනුමට දක්ෂ දැරියන්ට පාසල් උපකරණ ප්‍රදානය කරමින් චාම් ගුණසමරු උත්සවයක් නිශ්ශංක සමරු සංසඳයේ මෙහෙයවීමෙන්  පැවැත්වීමට කටයුතු යොදා ඇත.

                                                             නිවන් සුව ලැබේවා !

නිශ්ශංක සමරු සංසඳයේ ලේකම්

ජගත් ජනකාන්ත ගුණෙත්ති

Rate this item
(0 votes)
Last modified on Monday, 28 February 2022 00:57