April 17, 2024

මහ බැංකුව දැඩි තීන්දුවක් ගනී!

ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා සැලකිය යුතු ලෙස සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබෙනවා.

මෙම තීරණය ගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (8) රැස් වීමෙන් පසුයි.  

ශ්‍රී ලංකා මහ බැංකුව මෑත කාලයේදී මෙතරම් අගයකින් සහ මෙවැනි ආකාරයකින් මුදල් ප්‍රතිපත්තිය දැඩි කළ පළමු අවස්ථාව මෙය යැයි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැනුම් දීමේ මධ්‍ය හමුවට එක්වෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා පැවසුවා.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පදනම් අංක 700 බැගින්, පිළිවෙළින්, සියයට 13.50 සහ සියයට 14.50 දක්වා, 2022 අප්‍රේල් මස 08 වැනි දින ව්‍යාපාර කටයුතු අවසානයේ සිට බලපැවැත්වෙන පරිදි ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

සමස්ත ඉල්ලුම ඉහළ යෑම, දේශීය සැපයුම් අංශයේ බාධා, විනිමය අනුපාතිකය අවප්‍රමාණය වීම සහ ගෝලීය වශයෙන් වෙළඳ භාණ්ඩ මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ඉදිරි කාලය තුළදී තවදුරටත් ඉහළ යා හැකි උද්ධමන පීඩන සලකා බලමින්, ආර්ථිකය තුළ පවතින ඉල්ලුම මත පදනම් වූ උද්ධමන පීඩන තවදුරටත් ගොඩනැගීම පාලනය කිරීම, අහිතකර උද්ධමන අපේක්ෂා වර්ධනය වීම වැළැක්වීම සහ විනිමය අනුපාතිකය ස්ථාවර කිරීම සඳහා අවශ්‍ය පෙළඹවීම සැපයීමට මෙන්ම, වෙළඳපොළ පොලී අනුපාතික ව්‍යූහයේ පැවති විෂමතා නිවැරදි කිරීම සඳහා සැලකිය යුතු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය බව මුදල් මණ්ඩලයේ අදහස වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් සඳහන් කරනවා. 

Rate this item
(1 Vote)
Last modified on Saturday, 09 April 2022 10:51