March 29, 2024

විරාත් කෝලි අවුලෙන් : සාමාන්‍ය ලකුණු 50 ට වඩා අඩුවේ - රංජි කුසලාන ගහන්නත් සූදානම්

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි මේ වන විට සිටින්නේ පිතිකරණය පැත්තෙන් පසුබෑමක.

මේ නිසාම බොහෝ කලකට පසු ඔහුගේ ටෙස්ට් තරග වල සාමාන්‍ය ලකුණු මට්ටම ලකුණු 50 ට වඩා අඩු වුණා.

ටෙස්ට් තරඟාවලිය

ඒ ශ්‍රී ලංකාව සමඟ පැවැති ටෙස් තරග දෙකේදී දැක්වූ දුර්වලතාවය නිසා.

පළමු ටෙස්ට් තරඟයේදී කෝලිට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 45ක් වන අතර දෙවැනි ටෙස්ට් තරඟයේදී ඔහු ලබා ගත්තේ ලකුණු 23 ක් හා 13 ක්.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැති පළමු ටෙස්ට් තරගය කෝලි ඉන්දියාව වෙනුවෙන් සහභාගි වූ 100 වෙනි ටෙස්ට් තරගයද වුණා.

සාමාන්‍ය ලකුණු මට්ටම

ඒ අනුව සමස්ත තරගාවලියේදීම ඉනිම තුන් එක ලබා ගත්තේ ලකුණු 81ක් පමණයි.

එහි සාමාන්‍ය ලකුණු මට්ටම ලකුණු 27 ක්.

මේ නිසා මේ වන විට ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 101 කට සහභාගි වී ඇති කෝලිගේ සාමාන්‍ය ලකුණු මට්ටම 49.25 දක්වා පහත වැටී තිබෙනවා.

තමන් සහභාගි වූ ටෙස්ට් තරඟ 101 දී ඉනිම් 171 තුළ කෝලී ලකුණු 8043 ක් රැස් කරගෙන තිබෙන අතර ඊට ශතක 27 ක් හා අර්ධ ශතක 28 ක් ඇතුළත්.

විශේෂයෙන්ම කෝලිට තමා වසර 6ක කාලයක් අඛණ්ඩව දැරූ ඉන්දීය ටෙස්ට් , එක් දින හා විස්සයි විස්ස නායකත්වයන් අහිමි වීම තුල ඔහු විශාල මානසික පීඩනයක සිටින බව පෙනෙන්නට තිබෙනවා.

අසාර්ථකත්වයට පිලියම්

සිය අසාර්ථක පිතිහරණය යලි සාර්ථක මට්ටමට ගෙනඒම සඳහා කෝලී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් මාස 2 ක කාලයකට සමුගැනීමට සූදානම්.

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ක්‍රිකට් තරගාවලිය (IPL) තරගාවලියෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට එසේ කෙටි කාලීන සමු දීමක් කිරීමට සූදානම් වන කෝලි එම කාලය තුළ ඉන්දියාවේ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය වන රංජි කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට තීරණය කොට තිබෙනවා.

එහිදී කෝලි නියෝජනය කරන කණ්ඩායම පිළිබඳව තවමත් තොරතුරක් වාර්තා වී නොමැති මුත් ඔහු තමන්ගේ උපන් ප්‍රදේශය වන දිල්ලි කණ්ඩායම වෙනුවෙන් ස්ථිර ලෙසම ක්‍රීඩා කරනු ඇති බවයි දැනගන්නට තිබෙන්නේ.

රංජි කුසලාන තරඟ සඳහා සහභාගි වී සිය දස්කම් යළි ඔප නංවා ගන්නයි ගන්නා ලෙස ඕනෑම අසාර්ථක ක්‍රීඩකයෙකුට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දෙන උපදෙසයි.

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමෙන් අසාර්ථකත්වය මත ඉවත් කළ පිතිකරුවන් වන ක්‍රිකට් ක්‍රීඩක අජයකන් රහනේ සහ චේතස්වර් පූජාරාට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දුන් උපදෙසත් එයයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 16 March 2022 22:58