April 20, 2024

2021 වර්ෂයේදී SDB බැංකුවේ අති විශිෂ්ට වර්ධනයක්

ඉතා අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන් යටතේ වුවද SDB බැංකුව නිමා වූ 2021 මූල්‍ය වර්ෂය තුළදී විශිෂ්ඨ මූල්‍ය ප්‍රතිඵල අත්පත් කරගෙන ඇත.

2021 දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වූ වසර සඳහා බැංකුවේ මුළු ලාභය රුපියල් මිලියන 909ක් වන අතර එය පෙර වසරට සාපේක්‍ෂව මුළු ලාභයෙන් 9%ක වර්ධනයකි.

2021 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වූ එම වර්ෂයේ සිව්වන කාර්තුවේ ලාභය පමණක් රුපියල් මිලියන 159ක් ලෙසින් වාර්තා වේ. ශුද්ධ පොලී ආදායමත් ඊට පෙර වසරවලට සාපේක්‍ෂව 11%කින්, එනම් රුපියල් බිලියන 6.7ක් දක්වා වර්ධනය වී ඇත.

දුෂ්කර ආර්ථික පරිසරයක් තුළ වුවද SDB බැංකුව විසින් විශිෂ්ට මූල්‍ය ප්‍රතිඵල අත්පත් කරගැනීම පිළිබඳව අදහස් දක්වමින් එහි වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී නිරංජන් තංගරාජා මහතා මෙසේ පැවසුවේය. “ගෙවුණු 2021 මූල්‍ය වර්ෂය තුළ අපි විශේෂයෙන්ම අපේ මූලික අරමුණ වන ක්‍ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙත සේවා සැපයීම කෙරෙහි දැඩිව අවධානය යොමු කළා. එහිදී විශේෂයෙන්ම කාන්තා ව්‍යවසායකයින්ගේ සංවර්ධනය කෙරෙහි වැඩි සැළකිල්ලක් දැක්වුවා. 2021 වසරේදී අප ලැබූ සාර්ථකත්වයට බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය විසින් සකස් කළ සැලසුම් හා ක්‍රමෝපායන් මූලික වශයෙන් හේතු වුණා. ඒ වගේම වසංගතය නිසා පැනවී තිබූ සීමාකිරීම් ලිහිල් වීමත් අපේ සාර්ථකත්වයට පිටිවහලක් වුණා. අපේ පාරිභෝගිකයින් සමඟ හවුල්කරුවන් විදියට වැඩ කිරීමේ ප්‍රතිපත්තිය නිසා අපට අනාගතයේදී මතු විය හැකි මූල්‍යමය වශයෙන් දුෂ්කර අවස්ථාවන් කල් තියා හඳුනා ගැනීමටත් ඒ තත්ත්වයන්ට මුහුණදිය යුතු ආකාරය පිළිබඳව අපේ පාරිභෝගිකයන්ට සාර්ථකව මඟපෙන්වීමටත් අපට හැකි වුණා. අක්‍රිය ණය අනුපාතය පහළ යාම සහ අප විසින් නිකුත් කරන ලද ණය ප්‍රමාණය වර්ධනය වීම මීට සාක්‍ෂි සපයනවා. 2022 වසරේදීත් මේ සාර්ථකත්වය අඛණ්ඩම ඉදිරියට පවත්වාගෙන යමින් අඛණ්ඩ වර්ධනයක් අත්පත් කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ හිතවත් පාරිභෝගිකයින් සහ සියලුම හවුල්කරුවන් අපට ලබා දුන් සහයෝගය වෙනුවෙන් ඔවුන්ට ස්තූති කිරීමට ද මා මෙය අවස්ථාවක් කර ගන්නවා.”

ආයෝජකයින් විශාල වශයෙන් උනන්දුවක් දක්වමින් සහභාගී වූ ද්වීතියික කොටස් නිකුතුවක් ද SDB බැංකුව විසින් 2021 වසරේදී නිකුත් කළ අතර එය ආරම්භ කෙරුණු පළමු දිනයේදීම සැපයුම අබිබවා ගිය ඉල්ලුමක් වාර්තා විය. එමෙන්ම SDB බැංකුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් සේවය සපයන මූල්‍ය ආයතනයක් වශයෙන් සිය ජාත්‍යන්තර කීර්තිය වර්ධනය කර ගත් අතර පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී පැවැත්වුණු ‘බැංකුකරණ වටිනාකම් සඳහා වන ගෝලීය එකමුතුවේ (Global Alliance for Banking on Values - GABV) ආසියා පැසිෆික් කලාපයේ වාර්ෂික හමුව ද SDB බැංකුව විසින් සංවිධානය කරන ලදි. බැංකුව විසින් සැලසුම් කර ඇති වසර හතරක වර්ධන සැලසුම අනුව 2021 වසරේදී බැංකුව කාන්තා ව්‍යවසායිකාවන් ඇතුළුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය සංවිධානය කිරීම්, පාරිසරික හා මූල්‍ය තිරසාරත්වය වර්ධනය කිරීම සහ මහජනතාව අතරට ඩිජිටල් බැංකුකරණය ගෙන යාම යන අරමුණු කෙරෙහි දැඩි කැපවීමෙන් ක්‍රියා කර ඇත.

පාරිභෝගිකයින් හට සම්පූර්ණ සේවා පරාසයම සපයන, අනාගතයට සූදානම් බැංකුවක් වශයෙන් SDB බැංකුව, නිරන්තරයෙන් වෙනස් වන පාරිභෝගික අවශ්‍යතාවන් පරිපූර්ණ ලෙස සපුරාලීමට කැපවීමෙන් කටයුතු කරයි. අගය දාමයන් වර්ධනය හා මූල්‍ය කළමනාකරණය වැනි කරුණු පිළිබඳව විශේෂ අවධානය යොමු කරන මඟපෙන්වීම් සහ උපදේශනයන්, මූල්‍ය සහයෝගය සමඟ මුසු කරන ලද ප්‍රවේශයක් හරහා පාරිභෝගිකයින්ගේ ජීවිත සහ ව්‍යාපාරවලට සවියක් වීමට SDB බැංකුව කටයුතු කරනු ලබයි. එමෙන්ම SDB බැංකුව පාරිසරික, සමාජයීය හා පාලන තිරසාරත්වය වෙනුවෙන් කැපවුණු ව්‍යාපාර ප්‍රවේශයක් අනුගමනය කරන අතර බැංකුව විසින් මූල්‍ය ක්‍රියාකාරකම් සඳහා සහය සැපයීමේදී තිරසාර ප්‍රවේශයක් ඇති ව්‍යාපාර හා වැඩසටහන් වෙත වැඩි අවධානයක් යොමු කීරීම ද බැංකුවෙහිම තිරසාර ව්‍යාපාර ප්‍රවේශය පිළිබිඹු කරන්නකි. මෙලෙස පැහැදිලි දැක්මක් ඇතිව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවාසකයින්ට සහය වීම, කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය හා මහජනතාව අතරට ඩිජිටල් බැංකුකරණයේ ප්‍රතිලාභ ගෙනයාම කෙරෙහි දක්වන කැපවීම SDB බැංකුව, ශ්‍රී ලාංකික සමාජයේ සෑම සාමාජිකයෙක්ටම සමානව සළකන, වටිනාකම වෙනුවට හැකියාව හා විභවතාවය මත පදනම්ව ඔවුන්ව අගය කරන බැංකුවක් වශයෙන් කීර්තියක් අත්කර ගැනීමට හේතු වී ඇත.

Rate this item
(0 votes)