March 29, 2024

හිටපු ජනපතිවරයෙකුට ගිය කලක් : දැන් අත් අඩංගුවේ – නඩු විභාගය ඇරඹේ

හොන්ඩුවරාස් රාජ්‍ය මධ්‍යම අමෙරිකාවේ එසේත් නැතිනම් ලතින් ඇමෙරිකාවේ පිහිටි රාජ්‍යයක්.

ජුවාන් ඔර්ලන්ඩෝ හේනැන්ඩස් හොන්ඩුවරාස් රාජ්‍යයේ දෙවතාවක් ජනපති ධුරය දැරුවෙක්.

අත් අඩංගුවට

ඔහුගේ දෙවැනි ධූරය අවසන් වූයේ ඉකුත් ජනවාරි මාසයේදී.

එහෙත් මේ වන විට ඔහු සිටින්නේ අත්අඩංගුවේ.

ඊට හේතුවී තිබෙන්නේ ජනපති ධූරය දැරූ කාලයේ මත්ද්‍රව්‍ය ජාවාරමට , මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ වූ බවට චෝදනා එල්ල වීමයි.

චෝදනා තුනක්

ඒ සම්බන්ධයෙන් වූ චෝදනා 3 ක් මුල් කොටගත් නඩු විභාගයට පෙනී සිටීම සඳහා මේ වන විට ඔහුව ඇමරිකාවේ නිව්යෝක් නගරයට ගෙනැවිත් සිටිනවා.

ඔහුව එසේ ගෙන ආවේ ඇමරිකාවේ මත් ද්‍රව්‍ය පිටු දැකීමේ පරිපාලන ඒකකයට අයත් ගුවන් යානයකින්.

ඉකුත් ජනවාරි මස සිය දෙවැනි ධුර කාලය අවසන් වී සති කිහිපයක් යද්දී හිටපු ජනපතිවරයාව ඉහත සඳහන් චෝදනා යටතේ අත් අඩංගුවට ගත්තා.

හිටපු ජනපතිගේ ප්‍රතිචාරය

අත් අඩංගුවට පත් හිටපු ජනපතිවරයා තමන්ට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තමාව ඊට පැටලවීමට උත්සාහ කරන බවට චෝදනා නගමින්.

හිටපු ජනපතිවරයා සිය බිරිඳගේ ට්විටර් ගිණුම හරහා වීඩියෝ පටයක් මුදා හරිමින් සඳහන් කරන්නේ තමා අවංක පුද්ගලයකු බවත් , තමාව අසාධාරණ නඩු විභාගයකට ගොදුරු කර ඇති බවයි.

Rate this item
(1 Vote)