February 05, 2025

ඉම්රාන්ව අගමැති ධුරයෙන් නෙරපයි

විශ්වාසභංගයෙන් පරාජය වීමත් සමඟ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ධුරයෙන් නෙරපා දමා ඇතැයි පාකිස්ථාන මාධ්‍ය වාර්තා කරනවා.

විපක්ෂ සන්ධානය එක් වී ඉම්රාන් ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් තිබුණේ රටේ පවතින ආර්ථික අර්බුදය උග්‍ර කිරීමට ඉම්රාන්ගේ ආර්ථික ප්‍රතිපත්ති හේතු වූ බවත් එම අර්බුදයට ඔහු වගකිවයුතු බවත් චෝදනා නගමින්.

විවිධ බාධක සහ ප්‍රමාදවීම්වලින් පසු විශ්වාසභංගයට අදාල ඡන්ද විමසුම මධ්‍යම රාත්‍රියෙන් පසු පැවැත්වුණු අතර, එයින් පාර්ලිමේන්තුවේ බහුතරය ද අහිමි වී සිටි ඉම්රාන් එයින් පරාජයට පත් වුණා.

ඉම්රාන් ඛාන් විශ්වාසභංගයෙන් පරාජය වූ බව සහ ඔහුට ධුරය අහිමි වන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද තහවුරු කරනු ලැබ තිබෙනවා.

තමා ධුරයෙන් නෙරපා දැමීමට විපක්ෂ සන්ධානය කුමන්ත්‍රණය කළේ ඇමෙරිකාව සමග හවුලේ බව ඉම්රාන් තරයේ ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ නමුත් ඒ බව ඔප්පු කිරීමට ඔහු කිසිදු ප්‍රබල සාක්ෂියක් ඉදිරිපත් කර නැත.

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයකුට සිය ධුර කාලය සම්පූර්ණ කිරීමට කිසිදු අවස්ථාවක ඉඩ ලැබී නැත. ඒ අවස්ථා ගණනාවකදී එරට ප්‍රබල හමුදාව බලය අත්පත් කර ගත් බැවින්.

විශ්වාසභංගයකින් ධුරයෙන් නෙරපා දැමුණු පළමු අග්‍රාමාත්‍යවරයා වන්නේ හිටපු ක්‍රිකට් විරුවකු ද වන ඉම්රාන් ඛාන්ය.

පාකිස්තාන පාර්ලිමේන්තුව හෙවත් ජාතික සභාව නව අගමැතිවරයෙකු පත් කර ගැනීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

Rate this item
(2 votes)


© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : [email protected] | Phone : +94 112 814 449