April 26, 2024

කඩු තලයට වඩා තියුණු වූ කාන්තාවකගේ වචන දැවැන්ත වේල්ලක් නැවැත් වූ හැටි

February 09, 2021

වර්ෂ 1989 දී බ්‍රසීල රූපවාහිනී සේවයේ තීරණාත්මක සාකච්ඡාවක් සජීවිව විකාශ කරමින් තිබුණි. ඒ ෂින්ගු ගංඟාව හරස් කර වේල්ලක් තැනීමට පැමිණි ඉංජිනේරුවන් පිරිසක් සහ එම වේල්ල සෑදීමට නියමිතව තිබූ ප්‍රදේශය නිජබිම කරගත් කයාපේ නම් ආදිවාසීන් අතරයි.

මෙම සාකච්ඡාව තීරණාත්මක වෙද්දී එක්වරම රැස්ව සිටි ආදිවාසීන් අතරින් කඩුවක් අතට ගත උඩුකය නිරුවත් කාන්තාවක් ඉදිරියට පැන විදුලි බලාගාරයේ ප්‍රධාන ඉංජිනේරුවරයා වූ ජෝස් ඇන්ටෝනියෝ මුනිස් ලොප්ස්ගේ ගෙලට ආසන්නයේ කඩුව තබා දැඩි ප්‍රකාශයක් කරන ලබනවා.

“නුඹ බොරුකාරයෙක්! අපිට නුඹලාගේ විදුලිය ඕන නැහැ. නුඹලාගේ විදුලිය අපිට ආහාර දෙන්නේ නැහැ. අපිට ඕන අපේ ගංඟාව නිදහසේ ගලාගෙන යන්න, අපේ අනාගතය රඳා පවතින්නේ ඒක මත. අපිට දඩයම් කරන්න, එකට සිටින්න අපේ වනාන්තර ඕන. අපිට නුඹලාගේ වේල්ල එපා” යැයි ඇය කයාපේ භාෂාවෙන්ම ප්‍රධාන ඉංජිනේරුවාගේ ගෙල කැපෙන නොකැපෙන දුරින් ඇයගේ කඩුව තබාගෙන ප්‍රකාශ කළාය.

ඇයගේ වචන ඇයගේ අතේ තිබුණු කඩුවට වඩා තියුණු මුවහත් වූ අතර එකළ ලෝකයේ ප්‍රබලම පුටුවලට පවා එය දැනෙන්නට විය.

එම තියුණු බව කෙතරම් දැනුණේ ද යන්න කිවහොත් එකළ ලෝක බැංකුව විසින් ෂින්ගු ගංඟාව හරස් කොට ඉදි කිරීමට නියමිතව තිබූ වේල්ලට ලබා දීමට යෝජිත ණය මුදල වන ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදල ද නවතා දැමීමට කටයුතු කළේය.

මෙම වනාන්තරය රැක ගැනීමට එකළ ඉදිරිපත් වූ කයාපේ කාන්තාව පසුව ටුවිරා කයාපේ නමින් හඳුනා ගනු ලබනවා.

කාලය එලෙස ගෙවී ගිය අතර වර්ෂ 2008 දී එම සාකච්ඡාව නැවත පැවැත්වුණි. එදා ප්‍රධාන ඉංජිනේරුවරයා වූ ජෝස් ඇන්ටෝනියෝ වසර 19කට පසුව රටේ ප්‍රධාන විදුලිබල සැපයූම් ආයතනයක ප්‍රධානියා බවට පත්ව සිටියේය. ඔහු විසින් 1989 දී ඉදිරිපත් කළ විදුලි බලාගාර ව්‍යාපෘතිය නැවත වරක් ඉදිරියට ගෙන එන ලදී.

වසර 19කට පෙර මෙන්ම නැවත වරක් ටුවිරා කයාපේ ප්‍රධාන ඉංජිනේරුවරයා ඉදිරියේ පෙනී සිටියාය. නමුත් එකළ මෙන් එදා ඇයට කළ හැකි දෙයක් නොවීය. එහි ප්‍රතිඵලය වූයේ කාන්තාවක් විසින් 89 දී කඩුපහරකට වඩා තියුණු වචනවලින් නැවැත්වූ කරාරා වේල්ල හෙවත් බෙලෝ මොන්ටේ වේල්ල නැවත අති දැවැන්ත ජල කඳක් රැස් කරමින් ඉදි කිරීමයි.

2014 වසරේ දී එම වේල්ලෙන් විදුලි බලය නිපදවීම සඳහා මහ ජල කඳක් හරස් කර නැවැත්වීමට කටයුතු කරනු ලැබීය.

නැවත වරක් සිය ජීවිතය දිනා ගැනීම සඳහා ටුවිරා කයාපේ ඇතුළු පිරිසක් සටන් වැදුණු නමුත් බොහෝ පිරිසකගේ ජීවිත වේල්ල ඉදි වීමත් සමඟ විනාශ වී ගිය බවද තවත් පිරිස සංවිධාන ක්‍රියාකාරීන් පැවසීය.

ටුවිරා කයාපේ 1989 දී වේල්ල ව්‍යාපෘතියේ ප්‍රධාන ඉංජිනේරුවරයා හට කඩුව තබා තර්ජනය කළ අවස්ථාව

ටුවිරා කයාපේ සිය දරුවා සමඟ කඩුවක් අතැතිව

2008 වසරේ දී ටුවිරා ප්‍රධාන ඉංජිනේරුවරයාට නැවත වරක් තර්ජනය කරමින්

Rate this item
(1 Vote)
Last modified on Friday, 12 March 2021 15:01