April 26, 2024

ට්විටර් සමාජ මාධ්‍ය හරහා මිනිස්සු ඝාතනය කළ දාම ඝාතකයා

සමාජ මාධ්‍ය තුළ විවිධ පුද්ගලයින් සැරිසරයි. ඒ අතර සමාජ මාධ්‍ය තුළ සිදුවන විවිධ ගැටුම් හා තර්ජනය කිරීම් වෛරීය ප්‍රකාශ වැනි බොහෝ දේවල් පිළිබඳවද දිනපතා අසන්නට ලැබේ. 

ජපානයෙන් මෙවන් සමාජ මාධ්‍ය ආශ්‍රිතව සිදු වූ කතාවක් අසන්නට ලැබෙයි. මෙය සුවිශේෂි වන්නේ අපට අසන්නට ලැබෙන සිදුවීම්වලට වඩා හාත්පසින්ම වෙනස් වූ කතාවක් මෙය තුළ ගැබ්ව ඇති නිසයි. 

තකාහිරෝ ශිරාෂි නම් 30 හැවිරිදි තරුණයා විසින් ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලයින් හඳුනාගෙන ඝාතනය කිරීමට පෙළඹී සිට ඇත. 2017 වසරේ දී ඔහුව අත්අඩංගුවට පත්වන්නේ ඔහු පදිංචිව සිටි මහල් සංකිර්ණයේ පිහිටි ඔහුට අයත් නිවස තුළ තිබී මිනිස් අවයව සොයා ගැනීමත් සමඟයි. 

'ට්විටර් ඝාතකයා (Twitter Killer)' නමින් හැඳින් වූ තකාහිරෝට පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී තකාහිරෝට මරණ දණ්ඩනය නියම කළේ අති විශාල පිරිසක් ඉදිරියේ දීය.

මෙම ලිපියෙන් දිග හැරෙන්නේ ජපානයම කම්පා කළ එම සිදුවීම පිළිබඳවයි.

තකාහිරෝ සිය ගොදුරු සොයා ගත්තේ මෙහෙමයි

මානසික විශාදයෙන් පෙළෙන කාන්තාවන් ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනා ගන්නා තකාහිරෝ තම නිවසට ගෙන්වා ගැනීම සඳහා  ට්විටර් සමාජ මාධ්‍ය භාවිතා කළ ති⁣බේ. ඔවුන්ට සිය මානසික ආතතියෙන් මිදීම සඳහා  මරණයට උදව් කළ හැකි බව පවසමින්ද ඇතැම් අවස්ථාවලදී ඔහුත් ඔවුන් සමඟ සියදිවි නසා ගන්නා බව කියමින් රවටා මෙම ඝාතනයන් සිදු කර තිබේ.

2017 අගෝස්තු සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ ඔහු කාන්තාවන් අට දෙනෙකු සහ වයස අවුරුදු 15 ත් 26 ත් අතර පිරිමියෙකු ගෙල සිර කර මරා දැමූ බව ජපානයේ කියෝඩෝ ප්‍රවෘත්ති ඒජන්සිය විසින් වාර්තා කර තිබුණි.

එම වසරේ දී ජපාන පොලීසිය විසින් හදිසියේ අතුරුදහන් වූ 23 හැවිරිදි තරුණියක් සොයා පොලිස් පරික්ෂණයක් ආරම්භ කර තිබු ටෝකියෝ අගනුවර ආසන්නයේ පිහිටි සාමා නම් නගරයේ තකාහිරෝ ජීවත් වූ මහල් නිවාස සංකීර්ණය පරික්ෂාවට ලක් කිරීමට කටයුතු කර තිබුණි.

මෙම සොයා ගැනීම කරන්නේ අතුරුදහන් වු තරුණියගේ සහෝදරයා විසින් තරුණියගේ ජංගම දුරකථනය පරික්ෂා කරන අවස්ථාවේ ට්විටර් සමාජ මාධ්‍ය ගිණුම තුළ ඇය විසින් තකාහිරෝ ශිරාෂි සමඟ කරන ලද සංවාදයන් දැකීම හරහායි. ජපන් පොලීසිය විසින් මෙම හෝඩුවාව ඔස්සේ ගොස් තකාහිරෝව අත්අඩංගුවට ගන්නා ලදී.

ආරක්ෂ අංශ විසින් කරන ලද පරික්ෂණවලදී තකාහිරෝ විසින් ඝාතනය කරන ලද පුද්ගලයන් 09 දෙනෙකුගේ හිස්ද, අත් පා සහ තවත් අස්ථි කොටස් ද ශිතකරණ තුළ ගබඩා කර තිබියදී සොයා ගනු ලබනවා.

ජපාන මාධ්‍ය මෙම පුවත වාර්තා කර තිබුණේ 'බිහිසුණු නිවසක්' යන යන සිරස්තලය සමඟයි.

ඝාතන සම්බන්ධව කෙරුණු නඩු විභාගය

තකාහිරෝව ශිරාෂි අත්අඩංගුව පත් අවස්ථාව

වින්දිත පාර්ශවය විසින් තකාහිරෝට එරෙහිව මරණ දණ්ඩනය ඉල්ලා සිටි අතර තකාහිරෝ වෙනුවෙන් ඉදිරිපත් වූ නිතීඥයින් එයට විරුද්ධව වෙනස්ම තර්කයක් ගොඩ නැඟුවේය.

එහිදී ඔවුන් කියා සිටියේ තකාහිරෝව විසින් මෙම ඝාතනය ස්වය කැමැත්තෙන් සිදු නොකළ බවත් එම ඝාතනයන් මිය ගිය පුද්ගලයන්ගේ කැමැත්ත පරිදි සිදු කළ ඒවා බවත්ය. නමුත් තකාහිරෝ විසින් සිය නිතීඥ කණ්ඩායමේ මතයට විරුද්ධව යමින් කියා සිටියේ තමන් විසින් සමහර පුද්ගලයින්ව ස්ව කැමැත්තෙන් පමණක් ඝාතනය කළ බවයි.

අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා ප්‍රකාශ කර තිබුණේ මෙම ඝාතනයන් සියල්ලම කපටි සහ කුරිරු ආකාරයෙන් සිදු කර ඇති බවත් මෙම සියලු මරණයන් සඳහා චූදිතයා වගකිව යුතු බවත්ය.

තමන් වැරදිකරු වුවහොත් තමන් එයට විරුද්ධව අභියාචනාවක් ඉදිරිපත් නොකර බවටද තකාහිරෝ ඊට පෙර උසාවිය වෙත දැනුම් දීමක් කර තිබුණි. නමුත් ඔහු විසින් එය මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පෙර ඉදි⁣රිපත් කරනු ඇත්දැයි තවමත් පැහැදිළි නොමැති බවද සඳහන් වෙයි.

මෙම නඩු විභාගය සඳහා 400ක පමණ පිරිසක් පැමිණ සිටි නමුත් උසාවියේ ඉඩ ලැබුණේ 16 දෙනෙකුට පමණයි.

ජපානයේ මරණ දඬුවම බොහෝ අවස්ථාවල ක්‍රියාත්මක වන්නේ එල්ලී මැරීම මඟිනි.

ට්විටර් ඝාතකයාට ගොදුරු වුණේ කොහොම අයද?

ඝාතනය කළ අය යැයි කියන පිරිසක්

තකාහිරෝ විසින් ඝාතනය කරන ලද පුද්ගලයන්ගේ නම් රහසක් ලෙසම තබා ඇති තිබේ.  

ඔහු විසින් ඝාතනය කළ එක් තරුණියකගේ පියෙකු විසින් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණේ තකාහිරෝ දඬුවමේ දී එල්ල මරා දැමුවත් තමන් කිසිම විටක ඔහුට සමාව ලබා නොදෙන බවයි.

එමෙන්ම ඔහු විසින් පවසා තිබුණේ "දැන් පවා, මගේ දියණියගේ වයසේ කාන්තාවක් දුටු විට, මම ඇයව මගේ දියණිය වෙනුවෙන් වැරදියට තේරුම් ගතිමි. මෙම වේදනාව කිසි විටෙකත් පහව යන්නේ නැත. ඇයව මා වෙත ආපසු දෙන්න" යනුවෙනි.

මෙවැනි බොහෝ පිරිසක් තකාහිරෝ විසින් ඝාතනය කරන ලද සිය ඥාතින් පිළිබඳව අදහස් ප්‍රකාශ කර තිබුණි.

ට්විටර් ඝාතනය ජපාන සමාජය උඩුයටිකුරු කළ හැටි‍

තකාහිරෝ ශිරාෂි උසාවියේ පෙනී සිටි ආකාරය සිතුවටම නගා තිබූ අයුරු

මෙම දාම ඝාතනය ජපාන සමාජය තුළ දැඩි මතවාදාත්මක තත්ත්වයක් ඇති කිරීමට සමත් විය. එම නිසාම ජපාන සමාජය තුළ මානසික ආතතිය නිසා සියදිවි නසා ගන්න පෙළෙඹෙන පිරිස් කෙරෙහි අවධානයක් ලබා දෙන්නේ කෙසේද යන්නත් පිළිබඳවත් සියදිවි නසා ගන්න මිනිස්සුන් පොළොඹ වන සුළු දේවල් පළ කරන ලද වෙබ් අඩවි නියාමනය කිරීමට අවශ්‍ය රෙගුලාසි ඇති කිරීම පිළිබඳවත් වාදයන් ඇති විය.

ඊට අමතරව ට්විටර් සමාජාලය විසින් ඔවුන්ගේ පරිශිලකයන් සඳහා ප්‍රතිපත්ති තුළද වෙනසක් කිරීමට මෙම සිදුවීම පාදක කරගත් අතර සියදිවි නසා ගැනීම් ප්‍රවර්ධනය හෝ ඒවාට සම්බන්ධ වන කිසිදු ප්‍රකාශය ට්විටර් සමාජජාලය තුළ සිදු නොකළ යුතු බවටද ප්‍රකාශයට පත් කරන ලදී. එමෙන්ම ට්විටර් සමාජ මාධ්‍යයේ ප්‍රධාන විධායක නිලධාරී ජැක් ඩොර්සි විසින් මෙම සිදුවීම පිළිබඳව අතිශයෙන්ම කණ්ගාටුවට පත්වන බවද ප්‍රකාශ කළේය.

ජපානය ලෝකයේ ඉහළම සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාවය අතර ඇති රටක් ද වෙයි.

(BBC ඇසුරිණි)

Rate this item
(5 votes)
Last modified on Wednesday, 13 January 2021 15:57