March 28, 2024

ආදරය වෙනුවෙන් රජකම් හැරදා සාමාන්‍ය ජීවිතයට යන ජපන් කුමරිය

ජපාන අධිරාජ්‍යයාගේ දියණියක වන මාකෝ කුමරිය පිළිබඳව මේ වන විට ලෝකයාම කතාවෙමින් සිටිනවා, හේතුව ඇය විසින් ගනු ලැබූ තීරණයක් නිසයි.

මාකෝ කුමරිය 2017 වසරේ උසස් අධ්‍යාපනය ලබන සමයේ ඇයගේ පංතියේ සිටිය මිතුරෙකු වු කොමුරෝ සමඟ මිතුරුකමක් ඇතිකරගෙන තිබුණා.

නමුත් කාලයත් සමඟ මෙම මිතුරුකම ආදරයකට හැරුණු අතර මාකෝ කුමරිය කොමුරෝ ගැන කියා තිබුණේ ඔහුගේ "හිරු මෙන් ඔහුගේ දීප්තිමත් සිනහවෙන්" ඇය වසඟයට පත්වූ බවයි.

වසර 05ක් පුරාවට තිබුණු මේ සම්බන්ධයෙන් පසුව මෙම දෙදෙනා විවාහ වන්න තීරණය කරනවා.

නමුත් මෙම විවාහයෙන් පසුව මාකෝ කුමරියට කිසිදු ආකාරයකින් ඇයගේ රාජකීය පවුලට ආයෙත් සම්බන්ධයක් කීමට නොහැකි වන අතර ඇයගේ රාජකීයත්වයත් අහිමි වී යනවා.

ජපාන මාධ්‍ය වාර්තා කර තිබුණේ අය ජපන් අධිරාජ්‍යයාගේ පවුලේ කාන්තාවන් සඳහා පැනවී ඇති නීතියක් බවයි.

ජපාන අධිරාජ්‍යයාගේ දියණියගේ පෙම්වතා පිළිබඳව එරට මාධ්‍යයද උකුසු ඇස යොමාගෙන සිටි අතර කොමුරෝ සහ ඔහුගේ මව දෙදෙනාම ණය බරින් සිරවී සිටින බවටද වාර්තා කර තිබුණා.

එම මාධ්‍ය වාර්තාවන් සමඟ කොමුරෝ රාජකීය දියණියක් කෙසේ බලාගනීද යන්න පිළිබඳව සමාජය තුළ ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇතිව තිබුණු බවයි සඳහන් වන්නේ.

මාකෝ හෙවත් මාකෝ කොමුරෝ නමින් හඳුන්වන මෙම කුමරිය වත්මන් ජපන් අධිරාජ්‍යයාගේ බාල සොහොයුරා වන අකිෂිනෝ කුමරුගේ සහ ඔහුගේ බිරිඳ කිකෝ කුමරියගේ පළමු දරුවා වෙනවා.

1991 ඔක්තෝබර් 23 වැනි දින උපත ලබන ඇය අධිරාජ්‍ය පවුලේ සාමාජිකයන් සාමාන්‍යයෙන් ඉගෙන ගන්නා ප්‍රභූ ගකුෂුයින් පාසලට ඇතුළත් වී අධ්‍යාපනය ලබා තිබෙනවා.

ඇය රාජකීය සම්ප්‍රදායන් බිඳ දමමින් ඇයගේ ආදරය ගැන හිතන්න පටන් ගෙන තිබුණේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන සමයේදී.

මාකෝ කුමරියගේ පෙම්වතා වුණු කොමුරෝ 1991 දී ද උපත ලද අතර ඔහුට ප්‍රථම වරට මාකෝ කුමරිය මුණගැසුණේ 2012 දී විදේශගත වීමට අදහස් කරන සිසුන්ගේ රැස්වීමකදී.

මෙම රාජකීය කුමරිය සමඟ ආදරයෙන් බැඳුනු පසුව පවුලේ ඥාතීන් සහ ළඟම මිතුරන් පමණක් දැනගෙන සිටි කොමුරෝගේ පවුලේ කතාව ජපන් මාධ්‍ය විසින් දැඩි ලෙස හාරා අවුස්සා බලන්න ගත් බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණා.

බොහෝ දෙනෙක් කොමුරෝ කුමරියව විවාහ කරගැනීමට නොසුදුසු පුද්ගලෙයකු බවට පවසා සිටියා.

කෙසේ ඔවුන් දෙදෙනා මෙම වසරේ විවාහ වූ අතර ඇයගේ විවාහයට රාජකීය පවුලෙන් ලබාදෙන සම්ප්‍රදායික ත්‍යාග මුදල වන ඇමෙරිකානු ඩොලර් මිලියන 1.3ක මුදලද හිටපු කුමරිය විසින් ප්‍රතික්ෂේප කර තිබුණු බවයි වාර්තා වන්නේ.

එයද රාජකීය සම්ප්‍රදායන් කඩ කිරිමක් ලෙස ජපන් ඉතිහාසයට එක්වූ අතර එම ත්‍යාග මුදල ප්‍රතික්ෂේප කළ පළමු රාජකීය කාන්තාව බවටද ඇය පත්වුණා.

මෙම විවාහයට විරුද්ධත්වය පා ජපානය තුළ උද්ඝෝෂණ පවා පැවැති බවද වාර්තා වෙනවා.

යුවළ පදිංචිය සඳහා එක්සත් ජනපදයට යාමට අපේක්ෂා කරන අතර එහිදී කොමුරෝ නීතිඥයෙකු ලෙස සේවය කිරීමට අපේක්ෂා කරනවා.

මෙම පියවර බ්‍රිතාන්‍ය රාජකීයයන් වන මේගන් මාක්ල් සහ හැරී කුමරු සමඟ සැසඳීමට හේතුවක් වී ඇති අතර, අලුත විවාහ වූ යුවළට "ජපානයේ හැරී සහ මේගන්" යන අන්වර්ථ නාමය ලැබී තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 27 October 2021 08:08