April 27, 2024

මානසික සායනයකට ගිය අයෙකු 27කට ගිනි තබයි (VIDEO)

December 17, 2021

ජපානයේ ඔසාකා නුවර ගොඩනැගිල්ලක දරුණු ගින්නක් හටගෙන තිබෙනවා.

NHK රූපවාහිනිය සඳහන් කළේ මහල් 06කින් යුතු ගොඩනැගිල්ලක සිව්වැනි මහලෙහි මෙම ගින්න හටගෙන ඇති බව යි.

ඉංග්‍රීසි භාෂා පාසැලක්, රෙදි පිළි අළෙවි සැළක්, රූපලාවන්‍යාගාරයක් සහ මනෝචිකිත්සක සායනයක් ආදී විවිධ ව්‍යාපාර කිහිපයක් මෙම ගොඩනැගිල්ලෙහි පවත්වාගෙන ගොස් තිබෙනවා.

ගින්න හටගෙන ඇත්තේ මනෝචිකිත්සක සායනය පවත්වාගෙන ගොස් ඇති ඉඩකඩෙහි බව යි මේවන විට ලැබෙන වාර්තා පෙන්වා දෙන්නේ.

ගිනි තැබූ බවට ඉඟියක්

මේ අතර NHK රූපවාහිනිය සමග අදහස් දක්වමින් ඔසාකා පොලීසිය සඳහන් කරන්නේ ගින්න ආරම්භ වීමට මොහොතකට පෙර සැක කටයුතු පුද්ගලයෙකු එම ගොඩනැගිල්ලෙහි සිව්වැනි මහලෙහි පිහිටි මනෝචිකිත්සක සායනයට ඇතුළු වී ඇති බව යි.

ඔහු වයස අවුරුදු 60ක පමණ පුද්ගලයෙකු බව සඳහන්.

සිය අතෙහි තිබූ බෑගයකින් එළියට ගත් ඉන්ධන වැනි යම් ද්‍රාවණයක් අදාළ පුද්ගලයා විසින් හාත්පස වත් කළ බව සිද්ධිය ඇසින් දුටුවන් සඳහන් කර ඇතැයි පොලීසිය වැඩිදුරටත් පවසනවා.

මේ අනුව මෙය සිතාමතා සිදු කළ ගිනි තැබීමක් බවට යි ඔසාකා පොලීසිය සැක පළ කරන්නේ.

මානසික ආබාධයකින් පෙළෙන අයෙක්?

මේ අතර අදාළ පුද්ගලයා මානසික ආබාධයකින් පෙළෙන්නෙකුදැයි සැකයක් ද මතුව තිබෙනවා.

ඒ ඔහු මනෝචිකිත්සක සායනය වෙත පැමිණ ඉහත අයුරින් ක්‍රියා කිරීම හේතුවෙන්.

කෙසේ වෙතත් අදාළ සැක කටයුතු පුද්ගලයා සායනයට පැමිණි අයෙකු ද යන්න තහවුරු කරගැනීමට හෝ ඔහුගේ අනන්‍යතාව හෙළි කරගැනීමට හෝ මෙතෙක් හැකි වී නැහැ.

Image

ඛේදවාචකයක්

ගින්න පිළිබඳ සැළ වූ වහාම ගිනි නිවීමේ භටයින් පැමිණ ගින්න නිවීමට උත්සහ ගෙන ඇති අතර එය මැඩපැවැත්වීමට විනාඩි 30ක පමණ කාලයක් ගත වී ඇති බව පැවසෙනවා.

මෙම ගින්නෙන් මේවන විට 03 දෙනෙකු මරණයට පත්ව ඇති බව ජපාන බලධාරීන් මේවන විට නිල වශයෙන් තහවුරු කරන නමුත් NHK රූපවාහිනිය සඳහන් කරන්නේ මරණ ගණන 27ක් පමණවන බව යි.

තවත් කිහිපදෙනෙකු දරුණු පිළිස්සුම් තුවාළ ලබා ඇති බවත්, තවත් පිරිසක් ගින්නෙන් හටගත් දුම හේතුවෙන් දරුණු ලෙස ශ්වසන ආබාධවලට ලක්ව ඇති බවත් වාර්තා වෙනවා.

මේ අතර ඔසාකා පොලීසිය සඳහන් කළේ මෙම ගිනි තැබීම සිදු කළ බවට සැක කෙරෙන තැනැත්තා ද මියගිය අය හෝ තුවාළ ලැබූවන් අතර සිටියි දැයි දැඩිව පරීක්ෂා කරන බව යි.

Image

Rate this item
(2 votes)
Last modified on Saturday, 18 December 2021 06:13