April 27, 2024

සිතාගැනීමටවත් බැරි දෙයක් මොඩර්නා කුප්පි තුළින් මතුවෙයි

September 03, 2021

කොවිඩ් 19 මර්ධන එන්නතක් ලෙස භාවිතවන මොඩර්නා එන්නත් කුප්පියක් තුළ තිබී හඳුනා නොගත් ආගන්තුක ද්‍රව්‍යයක් හමු වීමේ පුවතක් වාර්තා වෙනවා.

ඒ ජපානයෙන්.

මෙම සොයාගැනීමත් සමග අදාළ කුප්පිය අයත් වූ එන්නත් කාණ්ඩය යොදාගනිමින් සිදු කළ එන්නත්කරණ කටයුතු ද වහාම නවතා දැමීමට යි එරට බලධාරීන් තීරණය කර ඇත්තේ.

කලු පැහැති කැබලි ලෙස එන්නත් කුප්පියක් තුළ මෙම හඳුණා නොගත් දෑ නිරික්ෂණය කර ඇත්තේ ජපානයේ කනගාවා දිස්ත්‍රික්කයෙහි එන්නත්කරණයේ යෙදී සිටි සෞඛ්‍ය අංශ සේවකයෙකු විසින්.

මෙම කැබලි මොනවාදැයි සිතාගැනීමට හෝ නොහැකි බවට යි එරට බලධාරීන් පවසන්නේ.

ඒවා මොනවාදැයි හඳුනාගැනීමට මේවන විටත් පරීක්ෂණ ක්‍රියාත්මක බව පැවසෙනවා.

මෙම ප්‍රශ්ණගත එන්නත් කාණ්ඩය භාවිත කිරීම වහාම අත්හිටවූ නමුත්, ඒවන විටත් එම කාණ්ඩයේ එන්නත් මාත්‍රාවන් පුද්ගලයින් 3,790 දෙනෙකුට පමණ ලබා දී තිබූ බව ද වාර්තාවනවා.

කෙසේ වෙතත් ජපාන මාධ්‍ය වාර්තා කළේ එම කාණ්ඩයේ එන්නත් ලබා ගත් පුද්ගලයින්ට මේවන තෙක් කිසිදු සෞඛ්‍ය ගැටළුවක් පැන නැගී නොමැති බව යි.

මීට පෙර ද ජපානයට රැගෙන ආ මොඩර්නා එන්නත් මාත්‍රා මිලියන 1.63ක් අපවිත්‍ර වී ඇති බවට හඳුණාගත් අතර එම මාත්‍රාවන් ද භාවිතයෙන් ඉවත් කිරීමට යි ජපාන සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබුණේ.

එහි දී ද හඳුණා නොගත් ආගන්තුක ද්‍රව්‍යයන් එන්නත් කුප්පි තුළින් හමුව තිබූ අතර එම සිදුවීමෙන් සතියක පමණ කාලයක් ගතවීමෙන් අනතුරුව මෙලෙස කළු පැහැ ආගන්තුක කැබලි තවත් මොඩර්නා එන්නත් කාණ්ඩයක් තුළින් හමු වීම විශේෂයෙන් කැපී පෙනෙනවා.

මේ අතර අදාළ එන්නත් මාත්‍රා තොගය කුප්පි තුළ අසුරන කාර්යය සිදු කර ඇති “රොවි” නමැති ස්පාඥ්ඥ ඖෂධ සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ මෙය එන්නත් නිෂ්පාදන ක්‍රියාවලියේ දී සිදුවූ වරදක් විය හැකි බවට යි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිය සමාගම විශේෂ පරීක්ෂණයක් සිදු කරන බව ද ඔවුන් පවසනවා.

මොඩර්නා කොවිඩ් මර්ධන එන්නත ශ්‍රී ලංකාව තුළ ද මේවන විට එන්නත්කරණය සඳහා භාවිත කරමින් සිටිනවා.

Rate this item
(13 votes)