April 24, 2024

එන්නත කල් ඉකුත්වීමේ අවදානමක! නොගන්න අයට වෙන දේ මෙන්න!

කොවිඩ් මර්ධන බූස්ටර් එන්නත් මාත්‍රා ලක්ෂ 80ක් තවමත් ඉතිරි වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තා පෙන්වා දෙනවා.

එලෙස එම එන්නත් මාත්‍රා ඉතිරිව ඇත්තේ මෙරට ජනතාව තුන්වැනි මාත්‍රාව ලබා ගැනීමට මැළි කමක් දැක්වීම නිසා යි.

සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ තුන්වැනි මාත්‍රාව ලබා ගෙන ඇත්තේ මෙරට ජනගහනයෙන් 30%ක ප්‍රතිශතයක් පමණක් බව යි.

කල් පනියිද?

මෙවන් පසුබිමක අදාළ ෆයිසර් එන්නත් තොගය කල් ඉකුත් වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ අතර අදාළ ෆයිසර් එන්නත් මාත්‍රා තොගය ජුලි මාසයේ දී කල් ඉකුත් වීමට නියමිත බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අනාවරණය කළා.

එබැවින් ජුලි මාසයට පෙර බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට ජනතාව පෙළඹෙනු ඇතැයි රජය අපේක්ෂා කරන බව ද ඔහු පැවසුවා.

කෙසේ වෙතත් යම් හෙයකින් ජනතාව ජුලි මාසයට පෙර එන්නත් ලබා නොගතහොත් අදාළ එන්නත් මාත්‍රා ප්‍රමාණය කල් ඉකුත් වී යාමේ අවදානමක් ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

බූස්ටරය නැත්නම් වෙන දේ

මේ අතර බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීම සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය සැළසුම් කොට ඇති බව වාර්තා වෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසන්නේ යම් අයෙකු “පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයෙකු” ලෙස සැළකීමට නම් එන්නත් 03ම ලබා ගැනීම අනිවාර්යය කිරීමට මේවන විට අවධානය යොමුව ඇති බව යි.

එලෙස මාත්‍රා 03ම නොගෙන පූර්ණ එන්නත්කරණය නොවූ පුද්ගලයින් හට ප්‍රසිද්ධ ස්ථානවලට යාම තහනම් කිරීමේ නීති ද ඉදිරියේ දී ගෙන ඒමට කටයුතු කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළා.

එම නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජංගම දුරකතන යෙදවුමක් (ඇප්) ද මේවන විට සැකසෙමින් පවතින බව යි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 25 January 2022 17:22