May 02, 2024

යුක්‍රේන අර්බුදය: නවතම තත්ත්වය

February 16, 2022

යුක්‍රේන දේශ සීමාව ආසන්නයේ රඳවා සිටි සිය හමුදා කණ්ඩයන්ගෙන් කිහිපයක් යළි ගෙන්වාගත් බව රුසියාව පවසනවා.

රුසියානු ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ දේශ සීමාව ආසන්නව පැවැත්වෙන හමුදා පුහුණු තවදුරටත් පැවැත්වෙන නමුත්, එම කටයුත්තට අදාළ රාජකාරි නිමවූ හමුදා කණ්ඩායම් යළි ගෙන්වා ගත් බව යි.

කෙසේ වෙතත් සැබැවින්ම එලෙස හමුදා කණ්ඩ කිහිපයක් හෝ පිටත්ව ගියේද යන්න සම්බන්ධයෙන් තොරතුරු වාර්තා නොවන බව බටහිර හිතවාදී මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර රුසියාව එවැනි ප්‍රකාශයක් සිදුකළ නමුත් යුක්‍රේනය සම්බන්ධ යුද අනතුර තවමත් එලෙසම පවතින බව එක්සත් ජනපද ජනපති ජෝ බයිඩන් මහතා පෙන්වා දෙනවා.

ඔහු ඒ සම්බන්ධව පළ කළේ මෙවන් අදහසක්.

“යුක්‍රේනය ආසන්නයේ රඳවා සිටි හමුදා කණ්ඩායම් සමහරක් එම ස්ථානවලින් පිටත්ව යන බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළා. ඒක හොඳ දෙයක්. හැබැයි අපි තවම ඒක තහවුරු කරගෙන නැහැ. අපි තාම තහවුරු කරගෙන නෑ රුසියානු හමුදා සාමාජිකයන් තම නිත්‍ය කඳවුරුවලට ආවද කියන එක ගැන. 

ඒ වගේම අපේ බුද්ධි අංශ විශ්ලේෂණ වාර්තා සඳහන් කරන්නේ තවමත් අනතුරුදායක තත්ත්වයක මේ ප්‍රශ්ණය පවතින බව. රුසියානු හමුදාව යුක්‍රේන සහ බෙලරූස් දේශ සීමාව ආශ්‍රිතව ලක්ෂ ගණනින් රැඳී සිටින බව තවමත් පැහැදිළි කරුණක්. රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට ඇති හැකියාව තවමත් පෙර පරිදිම පවතිනවා”

මේ අතර වර්ධනය වෙමින් පවතින උණුසුම සමනය කිරීම සඳහා ජර්මන් චාන්සලර්වරයාවන ඔලාෆ් ශෝල්ස් මහතා රුසියාව බලා ගොස් තිබෙනවා.

ඒ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා සමග සාකච්ඡා කිරීම සඳහා යි.

සාකච්ඡාවෙන් අනතුරුව ජර්මන් චාන්සලර් ඔලාෆ් ශෝල්ස් මහතා ප්‍රකාශ කළේ සියළු පාර්ශවවලින් වගකීම් සහිත තීරණ සහ ක්‍රියාත්මක වීම් අවශ්‍යව ඇති බව යි.

යුරෝපය තුළ යුද ගැටුමක් නිර්මානය නොවීමට වගබලා ගැනීම නායකයන් ලෙස සැමගේම වගකීම බව ඔහු අවධාරණය කළා.

මෙම අවස්ථාවේ දී රුසියානු ජනාධිපති පුටින් මහතා පවසා සිටියේ තමන්ට යුද්ධයක් අවශ්‍ය නොවන බව යි.

එබැවින් සිය කොන්දේසිවලට යටත්ව සාකච්ඡා මාර්ගයෙන් ගැටළුව විසඳාගත හැකි බවත්, රුසියාව ඇතුළු සියළු පාර්ශවයන්ගේ ආරක්ෂාව පිළිබඳ එහි දී සැළකිල්ලට භාජනය විය යුතු බවත් ඔහු පවසනවා.

ශෝල්ස් මහතා මීට පෙර යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි මහතා ද හමු වූවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 16 February 2022 09:50