April 20, 2024

රුසියානු හමුදා යුක්‍රේනයේ අගනුවරට ඇතුළු වෙයි

February 25, 2022

යුක්‍රේනය ආක්‍රමණය කර ඇති රුසියානු හමුදා කිව් අගනුවරට ඇතුලු වී තිබෙනවා.

යුක්‍රේනයේ ජනාධිපති සෙලෙන්ස්කි යුරෝපීය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ රුසියාවට විරෝධය දක්වන ලෙසටයි.

එමෙන්ම රුසියාවේ මෙම ප්‍රහාරය නතර කිරීමට මැදිහත් වන ලෙස යුරෝපා කලාපිය රටවල රජයන්ගෙන් ඉල්ලා සිටින ලෙසත් ඔහු ජනතාවට ප්‍රකාශ කර තිබෙනවා.

රට පුරා ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් 25 දෙනෙකු මිය ගොස් 102 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ.

එක්සත් රාජධානියේ ආරක්ෂක ලේකම් බෙන් වොලස් හෙළිකර ඇත්තේ ගැටුම් හමුවේ රුසියාවට පුද්ගලයින් 450කගේ ජිවිත අහිමි වී ඇති බවයි.

කළු මුහුදේ දූපතක සිටි, දේශසීමා ආරක්ෂකයින් 13 දෙනෙකු රුසියානු යුද නෞකාවකට යටත් වීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සමූලඝාතනය කර තිබෙනවා.

යුක්‍රේනයේ අගනුවර වන කිව් නගරයට ප්‍රථම වරට රුසියානු යුද ටැංකි ඇතුළු කිරීමත් සමඟ වෙඩි හඬ ඇසුණු බවයි වාර්තා වන්නේ.

රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ කියෙව් නුවරට ඉහළින් ගිය යුක්‍රේන ගුවන් යානයකට වෙඩි තැබූ බවයි.

කෙසේවෙතත් යුක්‍රේනය පවසා ඇත්තේ එම ජෙට් යානය රුසියානු එකක් බවයි.

රුසියාවේ ඉදිරි ගමන මන්දගාමී කිරීමට යුක්‍රේන හමුදා පාලමක් පුපුරුවා හැරීමත් සමඟ දෙපාර්ශවය අතර ගැටුම් උග්‍ර වී තිබෙනවා.

Rate this item
(1 Vote)