April 26, 2024

මීලඟ ලෝක යුද්ධය අතලඟ ද? යුක්‍රේන අර්බුදයේ දැන් තත්ත්වය මෙන්න!

February 14, 2022

පුටින්ගේ සැර ප්‍රකාශය

යුක්‍රේනය, නේටෝ සංවිධානය සමග සම්බන්ධ වුවහොත් තම පාර්ශවයෙන් ඊට එරෙහි හමුදා මැදිහත් වීමක් සිදුවීම වැළැක්විය නොහැකි බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා පවසනවා.

එවැනි තීරණයකට යුක්‍රේනය ගියහොත් නිරායාසයෙන්ම යුද්ධයකට තල්ලුවන බව යි ඔහු අවධාරණය කරන්නේ.

රුසියාව යනු න්‍යෂ්ටික අවි සහිත ප්‍රධාන රාජ්‍යයක් බව සැවොම තේරුම්ගත යුතු බව ද පුටින් මහතා පවසන අතර මේ සියළු දේ අවසානයේ ජයග්‍රාහකයෙකු නොමැති විය හැකි නමුත් බටහිර බලපෑම් මත මේවන විට සිදුවන ක්‍රියාවලිය හරහා රුසියාව අර්බුදයකට කැඳවමින් සිටින බව ඔහු පෙන්වා දෙනවා.

තමා කියන දේ වැටහුණත් නැතත් තමන්ට සවන්දෙන්නැයි අවසන්වරට ද අවධාරණය කරන බව ව්ලැදිමීර් පුටින් මහතා ප්‍රකාශ කර සිටියා.

කියවන්න:  යුක්‍රේනයේ ශ්‍රී ලාංකිකයන්ට වෙන දේ ගැන ප්‍රකාශයක්

ආක්‍රමණය

රුසියානු නායකයා මෙවන් අදහසක් පළ කරන්නේ සිය හමුදා කාණ්ඩ විශාල ගණනින් යුක්‍රේන දේශ සීමාවේ ස්ථාපනය කර ඇති මොහොතක යි.

එමෙන්ම එම දේශ සීමා ආසන්නයේ රුසියානු හමුදා සිය යුද බලය ප්‍රදර්ශනය කරමින් පුහුණු මෙහෙයුම්වල ද යෙදෙමින් සිටිනවා.

මේ අතර රුසියානු ජනාධිපති පුටින්, යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ තීරණය මේවන විටත් ගෙන ඇති බව ජනාධිපති ජෝ බයිඩන් මහතා ප්‍රමුඛ අමෙරිකා එක්සත් ජනපද පාලනය විශ්වාස කරනවා.

ජනපති බයිඩන් නේටෝ සහ යුරෝපා සංගමයේ නායකයින් අමතා පවසා ඇත්තේ ඉදිරි දින කිහිපය තුළ ඕනෑම මොහොතක මෙම හමුදා ආක්‍රමණය සිදුවිය හැකි බවට යි.

සිය බුද්ධි අංශ තොරතුරු හරහා මෙම කරුණු අනාවරණය වූ බව ජෝ බයිඩන් මහතා වැඩිදුරටත් පවසනවා.

මීට පෙර එක්සත් ජනපදය විශ්වාස කළේ රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය, මේවන විට බීජිං නුවර පැවැත්වෙන ශීත ඍතු ඔලිම්පික් උළෙල අවසන් වීමෙන් අනතුරුව සිදුවනු ඇති බවට යි.

එහෙත් ශීත ඍතු ඔලිම්පික් උළෙල පැවැත්වෙන අතරතුරේදීම මෙම ආක්‍රමණය සිදුවනු ඇති බවට සිය බුද්ධි අංශ තොරතුරු පෙන්වා දෙන බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා ද මේවන විට පවසනවා.

දෙපැත්තට මැදි වූ යුක්‍රේනය

මෑත අනාගතයේ දීම සිදුවිය හැකි යුද වාතාවරණයක් පිළිබඳ මෙලෙස ඉඟි පළවන්නේ අමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය ඇතුළු නේටෝ රටවල් සහ රුසියාව අතර ලෝක දේශපාලන අතින් උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති මොහොතක යි.

යුක්‍රේනය යනු රුසියාව ප්‍රමුඛ වූ පැරණි සෝවියට් සමූහාණ්ඩුවේ සාමාජිකයෙකුවන අතර එය පිහිටා ඇත්තේ යුරෝපයටත් රුසියාවටත් අතරමැදිව යි.

දේශපාලනික සහ සංස්කෘතික අතින් ද අතීතයේ සිට රුසියාවට නෑකම් කියූ යුක්‍රේනය, යුරෝපයට වඩාත් සමීප වීම හරහා භූ දේශපාලනික උපාය මාර්ග අතින් මෙන්ම ආරක්ෂාව අතින් ද රුසියාවට තර්ජනාත්මක සහ අවාසි සහගතවන අතර එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් ද රුසියාවේ අසල්වැසියෙකුවන යුක්‍රේනයට සිය බලපෑම පැතිරවීම හරහා මෙම මතභේදය උග්‍ර වූවා.

යුද බිය වර්ධනය වෙයි

මේ අතර ලොව බොහෝ රටවල් මේවන විට දැනුම් දී ඇත්තේ යුක්‍රේනයේ සිටින සිය රටවල්වල ජනතාවට එරටින් ඉවත්වන ලෙසට යි.

ඒ අනුව බොහෝ තානාපති කාර්යාල සේවකයින් ද යුක්‍රේනයෙන් පිටමං වෙමින් සිටිනවා.

මෙවන් පසුබිමක රුසියාව විසින් සිය රට ආක්‍රමණය කරාවි යන බිය යුක්‍රේන වැසියන් තුළ හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ සිය රට වෙනුවෙන් සටන් වැදීමට තමන් සූදානම් බවට සිවිල් වැසියන් ද පවසන බවයි.

එමෙන්ම යුක්‍රේන වැසියන් දස දහස් ගණනින් එරට අගනුවර වෙත රැස් වී ඇත්තේ යුක්‍රේන ජනතාවගේ එක්සත් බව පෙන්වීම සඳහා යි.

ඇතැම් දෙමාපියන් සිය දරුවන් ගම්බද පළාත්වලට ගෙන ගොස් සැඟවීමට ද ක්‍රියා කර ඇත්තේ යුද බිය හේතුවෙන්.

දුරකතන ඇමතුම

මේ අතර මෙම ගැටළුවේ ප්‍රධාන බල කණු ද්විත්වයවන එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යන මහත්වරුන් අතර දුරකතන සංවාදයක් සිදුව තිබෙනවා.

මෙම සංවාදය පැයකට අධික කාලයක් පැවැති බව සඳහන්.

යුක්‍රේනය ආක්‍රමණය කළ හොත් එක්සත් ජනපදය සහ බටහිර රටවල් එක්ව එයට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බවත්, රුසියාවට ඒ සඳහා වන්දි ගෙවීමට සිදුවනු ඇති බවටත් බයිඩන් මහතා එහි දී පවසා ඇති බවට යි ධවල මන්දිරය පවසන්නේ.

කෙසේ වෙතත් පුටින් මහතා පවසා ඇත්තේ ආරක්ෂාව පිළිබඳ තම කොන්දේසිවලට එක්සත් ජනපද පාලනය දක්වන ප්‍රතිචාරය කෙරෙහි තමන් කිසිසේත් සෑහීමකට පත් නොවන බව යි.

යුක්‍රේනය නේටෝ සංවිධානයට ඇතුළත් නොකරගත යුතු බවට වූ කොන්දේසිය එහි දී ප්‍රධාන බව යි රුසියානු නායකයා පෙන්වා දී ඇත්තේ.

මේ අනුව යුක්‍රේනය පදනම් කොටගෙන හටගෙන ඇති අර්බුදය සමනයකට පත් කරගැනීමට නායකයින් දෙපළ අතර සිදුවුණු දුරකතන සංවාදයට නොහැකි වී ඇති බව යි පැවසෙන්නේ.

මේ අතර යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි මහතා සිය ජනතාවට ප්‍රකාශ කර ඇත්තේ කළබල නොවන ලෙසට යි.

සිය රටෙහි මිතුරු රාජ්‍යයන් මෙන්ම සතුරු රාජ්‍යයන් යන දෙපාර්ශවයම සිදු කරන ප්‍රකාශ නිසා සිදුවන්නේ සිය රටවැසියන් කළබල වීම පමණක් බවත්, එම ප්‍රකාශවලින් සිය රටට කිසිදු පළක් නොමැති බවත් ඔහු පෙන්වා දෙනවා.

මීලඟ ලෝක යුද්ධය ද?

මෙවන් වාතාවරණයක යම් හෙයකින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට රුසියානු පාලනය ක්‍රියා කළහොත් එය බටහිර සහ රුසියාව අතර යුද ගැටුමක් තෙක් වර්ධනය වීමේ අවදානමක් තිබෙනවා.

යුද ගැටුමක් වර්ධනය වුවහොත් චීනය ද රුසියාවට සහය දෙනු ඇති.

එවැන්නක් සිදුවුවහොත් එය ඇතැම්විට තෙවැනි ලෝක යුද්ධය ලෙස ඔඩුදිවිය හැකි බවට යි ජාත්‍යන්තර පුවත් විශ්ලේෂකයින් සඳහන් කරන්නේ.

එය වඩාත් භයානක වන්නේ මෙම ගැටුමට සම්බන්ධ වීමට නියමිත බොහෝ රටවල් න්‍යෂ්ටික අවි හිමි රාජ්‍යයන් වීම හේතුවෙන්.

එමෙන්ම ශ්‍රී ලංකාව වැනි රටවල් තෝරාගන්නා පාර්ශවය මත එහි ප්‍රතිවිපාක ද විඳීමට සිදුවනු ඇති බව පැහැදිළි කරුණක් ද වනවා.

තව ද යුද ගැටුමක් වර්ධනය වුවහොත් ලෝක වෙළඳපොලෙහි බොරතෙල් මිල වැඩි වී ලෝක ආර්ථික අවපාතයකට ද යා හැකි අතර එවැන්නක් සිදුවුවහොත්, දැනටමත් ආර්ථික පරිහානියට ලක්ව ඇති ශ්‍රී ලංකාවට ඉන් තවදුරටත් ඍණාත්මක විපාක විඳීමට සිදුවනු ඇති.

Rate this item
(0 votes)
Last modified on Monday, 14 February 2022 08:48