April 26, 2024

"අල්ලාගේ සහයකයෝ" කළ වැඩෙන් 03ක් එලොව යයි! ලාංකිකයින්ට විශේෂ අංකයක්!

අබුඩාබි නුවරට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය ගණන 03ක් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය පවසනවා.

ඩ්‍රෝන යානා කිහිපයක් යොදා ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වූයේ ඊයේ (17) දිනයේ දී යි.

අබුඩාබි ජාතික තෙල් සමාගමට අයත් තෙල් ටැංකි සංකීර්ණයක් ඉලක්ක කරගෙන මෙම ප්‍රහාරය එල්ල වූ අතර ඉන් මියගොස් ඇත්තේ එම තෙල් ටැංකි සංකීර්ණයේ සේවය කළ තිදෙනෙක්.

මියගිය අයගෙන් දෙදෙනෙකු ඉන්දීය ජාතිකයින් බවත් අනෙක් පුද්ගලයා පාකිස්තාන ජාතිකයෙකු බවත් වාර්තා වනවා.

ඊට අමතරව තවත් 06 දෙනෙකු පමණ තුවාළ ලබා ඇති බව යි එක්සත් අරාබි එමීර් පුවත් සේවා පවසන්නේ.

අල්ලාගේ සහයකයෝ

ප්‍රහාරයේ වගකීම ඉරානයට හිතැති යෙමන ත්‍රස්ත සංවිධානයක්වන “හූති” හෙවත් “අන්සාර් අල්ලා” (අල්ලාගේ සහයකයෝ) සංවිධානය භාර ගෙන තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්දියානු තානාපතිවරයාවන සංජේ සුධීර් මහතා පවසන්නේ මියගිය ඉන්දීය ජාතිකයින්ගේ සිරුරු හඳුණාගැනීමේ කටයුතු සිදුවෙමින් පවතින බව යි.

සෞදි අරාබියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය එක්ව හූති ත්‍රස්තයන්ට එරෙහිව සිදුකරන සටනෙහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියානුවන් අනතුරට පත් දෙවැනි අවස්ථාව ලෙස යි මෙය සැළකෙන්නේ.

ජනවාරි 03 වැනි දා එක්සත් අරාබි එමීර් ධජය සහිත නෞකාවක් යෙමනය ආසන්නයේ දී හූති ත්‍රස්තයින් විසින් පැහැරගත් අතර එහි සිටි ඉන්දීය ජාතික සේවකයින් 11 දෙනෙකු තවමත් ත්‍රස්තයින්ගේ සිර භාරයේ පසුවනවා.

ශ්‍රී ලාංකිකයින්ගේ තත්ත්වය

මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති මල්රාජ් ද සිල්වා මහතා ප්‍රකාශ කළේ මෙම ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකික සේවකයින්ට හානි සිදුවී ඇති බවට මෙතෙක් වාර්තා වී නොමැති බව යි.

කෙසේ වෙතත් එරට සිටින ශ්‍රී ලාංකිකයින් සඳහා විශේෂ හදිසි දුරකතන අංකයක් හඳුන්වා දී ඇති බව ද ඔහු පැවසුවා.

ඒ හරහා මෙම ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයෙකුට සිදු වූ අනතුරක් හෝ අපහසුතාවක් ඇත්නම් ඒ පිළිබඳ තොරතුරු දැනුම් දිය හැකි බව යි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 18 January 2022 10:53