April 23, 2024

රටක් සලිත කළ ප්‍රහාරයේ CCTV දර්ශන මාධ්‍යට නිකුත් කෙරේ (VIDEO)

November 17, 2021

වගකීම භාරගත් ඉස්ලාමීය රාජ්‍යය

උගන්ඩාවේ කම්පාලා අගනුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම තමන් බාර ගන්නා බව ISIS හෙවත් ඉස්ලාමීය රාජ්‍යය සංවිධානය නිවේදනය කොට තිබෙනවා.

ටෙලිග්‍රෑම් චැනලයක් ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ISIS සංවිධානය මෙලෙස වගකීම භාරගෙන ඇති බව යි උගන්ඩාවේ NTV රූපවාහිනී පුවත් නාලිකාව සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් උගන්ඩා පොලීසිය පවසන්නේ ISIS සංවිධානය මෙම ප්‍රහාරයට සම්බන්ධ වන්නේ වක්‍රාකාරයෙන් බව යි.

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී බලකාය හෙවත් ADF නමින් හැඳින්වෙන ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්ත සංවිධානයේ ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාරය සිදු කොට ඇති බව ඔවුන් පවසනවා.

ADF යනු උගන්ඩාවේ සහ කොංගෝවේ ක්‍රියාත්මක ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයක්වන අතර ඔවුන් ISIS හෙවත් ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්ත සංවිධානයේ මධ්‍යම අප්‍රිකානු ඒකකය සමග සමීප සබඳතා පවත්වන බව යි වාර්තා වන්නේ.

එමෙන්ම ADF යනු තම සංවිධානයේ උගන්ඩා ශාඛාව බවට ඇතැම් අවස්ථාවල දී ISIS සංවිධානය විසින් අදහස් පළ කොට තිබුණා.

ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රහාරය ද මෙවැනිම එකක් වූ අතර එයට ද ISIS සංවිධානයේ ඍජු සබඳතාවක් නොමැති වුවත් පසුව එහි වගකීම ඔවුන් විසින් භාර ගෙන තිබුණා.

එය සිදු කොට තිබුණේ ISIS සංවිධානයට සහය පළ කළ දේශීය ත්‍රස්ත සංවිධානයක් විසින්.

CCTV දර්ශන මාධ්‍යයට

මේ අතර කම්පාලා නුවරට එල්ල වූ මෙම ම්ලේච්ඡ ප්‍රහාරයේ CCTV දර්ශන මාධ්‍යට නිකුත් කිරීමට එරට පොලීසිය කටයුතු කළා.

මෙම ප්‍රහාර සියල්ල මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් එල්ල කළ අතර, ත්‍රස්තවාදීන් පැමිණ ප්‍රහාරය එල්ල කරන ආකාරය අදාළ CCTV වීඩියෝවල දැක්වෙනවා.



ත්‍රස්ත ඉලක්කය

ඊයේ (16) සිදු වූ මෙම ප්‍රහාරයේ දී ප්‍රබල බෝම්බ තුනක් පුපුරා ගොස් ඇති බව සඳහන්.

ප්‍රහාර මාලාවෙන් අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු හෝ මරණයට පත්ව ඇති බව වාර්තාවන අතර තුවාළ ලැබූවන්ගේ ගණන 30 ඉක්මවන බවයි පුවත් වාර්තා සඳහන් කරන්නේ.

තුවාළ ලැබූවන්ගෙන් 05 දෙනෙකුගේ පමණ තත්ත්වය බරපතළ බව ද පැවසෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ෆ්‍රෙඩ් එනන්ගා මහතා පැවසූවේ පළමු ප්‍රහාරයේ ඉලක්කය වී ඇත්තේ කම්පාලා මධ්‍යම පොලිස් මූලස්ථානය බව යි.

එම ප්‍රහාරයට එක් ත්‍රස්තයෙකු පැමිණ ඇති අතර දෙවැනි ප්‍රහාරය උගන්ඩා පාර්ලිමේන්තුව ඉතා ආසන්නව එල්ල වී ඇති බව යි ඔහු සඳහන් කරන්නේ.

එම ප්‍රහාරය සඳහා ත්‍රස්තයන් දෙදෙනෙකු පැමිණ ඇති අතර ඔවුන් දෙදෙනාම බෝම්බ පුපුරවාගෙන තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණ ඇති ඔවුන් දෙදෙනා එහි ගමන් ගන්නා අතරතුරදීම බෝම්බ පුපුරවාගත් බව සිද්ධිය ඇසින් දුටුවන් උපුටා දක්වන උගන්ඩා මාධ්‍ය සඳහන් කළා.

එමෙන්ම තවත් ත්‍රස්තයෙකු ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සහ ගත් නමුත් පොලිස් වෙඩි ප්‍රහාර හමුවේ එය ව්‍යර්ථ වී ඇති බවත්, ඔහු වෙඩි වැදී තුවාළ ලබා ඇති බවත් පුවත් ආරංචි මාර්ග පැවසුවා.

පෙර පුවත: ඉස්ලාමීය අන්තවාදී ප්‍රහාරයකින් කම්පාලා නුවර කම්පා වෙයි (VIDEO)

Rate this item
(2 votes)
Last modified on Wednesday, 17 November 2021 09:05