May 02, 2024

ෆේස්බුක් සමාගමෙන් තලේබාන් සංවිධානය ගැන විශේෂ තීන්දුවක්

තලේබාන් සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තමන් සලකන බව ෆේස්බුක් සමාගම පවසනවා.

ඒ අනුව තලේබාන් සංවිධානයට අයත් පිටු, සමූහ ආදිය සහ ඊට සහය දෙන සියළු දෑ ෆේස්බුක් වෙබ් අඩවියෙන් ඉවත් කිරීමට යි එම සමාගම කටයුතු කර ඇත්තේ.

තලේබාන් සංවිධානයට අයත් සහ එම සංවිධානයට සහය දෙන පළකිරීම් පිළිබඳ සූක්ෂම අයුරින් සොයා බැලීමටත්, ඉන්පසු ඒවා ඉවත් කිරීමටත් ඇෆ්ඝන් විශේෂඥයින්ගෙන් සැදුම්ලත් විශේෂ කණ්ඩායමක් ද යෙදවීමට මේවන විටත් කටයුතු කර ඇති බව ද ෆේස්බුක් සමාගම පවසනවා.

එම කණ්ඩායම් මගින් ඇෆ්ඝනිස්ථානය තුළ භාවිතවන දේශීය භාෂාවන්ගෙන් සැදුම්ලත් පළකිරීම් ක්ෂණිකව හඳුණාගෙන ඉවත් කිරීම සිදුකරමින් පවතින බව යි ෆේස්බුක් ආයතනය සඳහන් කරන්නේ.

ෆේස්බුක් සමාගම සතුව පවතින ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් යන යෙදවුම් ත්‍රිත්වය සඳහාම මෙය බලපැවැත්වෙන බව ද සඳහන්.

විදෙස් පුවත් වාර්තා පෙන්වා දෙන්නේ තලේබාන් සංවිධානය සිය මතවාද පැතිරවීම සඳහා වසර ගණනක් තිස්සේ ෆේස්බුක් ඇතුළු සමාජ ජාල යොදාගත් බව යි.

සුළු කාලයක් තුළ ඇෆ්ඝනිස්ථානයේ බලය තහවුරු කරගැනීමට ද සමාජ ජාල ඔවුන් හට ඉවහල් වූ බව ද එම වාර්තා පෙන්වා දෙනවා.

ෆේස්බුක් වැනි අන්තර්ජාලය පදනම් කරගත් තාක්ෂණික ආයතන හට තලේබාන් සංවිධානයට සම්බන්ධ පළකිරීම් ආදිය පිළිබඳ අභියෝගයක් එල්ල වී ඇත්තේ එවන් පසුබිමක යි.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 17 August 2021 16:10