April 17, 2024

තලේබාන් රාජ්‍යය නියෝජනය කරමින් ඇෆ්ඝන් කණ්ඩායම පළමු සටනට සැරසෙයි

මෙවර පන්දු වාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයක් අද (25) දිනයේත් පැවැත්වෙනවා.

ඒ මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී පෙරළිකාර කණ්ඩායමක් වූ ස්කොට්ලන්තය සහ ප්‍රබල ඇෆ්ඝනිස්තානය යි.

තලේබාන් රජය යටතේ

ජාත්‍යන්තර පුවත් කරළියේ මේවන විටත් පුවත් මවමින් සිටින ඇෆ්ඝනිස්තානය දෙස බොහෝ දෙනා අවධානයෙන් සිටින්නේ පසුගිය දා එරට ප්‍රජාතන්ත්‍රවාදී රජය පෙරළා දමා රාජ්‍ය පාලනය තලේබාන් ත්‍රස්තයින් අතට පත් වූ පසුබිම නිසා යි.

පසුගිය අගෝස්තුවේ දී අවි ගත් තලේබාන් ත්‍රස්තයින් ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් මණ්ඩල මූලස්ථානය වෙත කඩා වැදුණා.

කෙසේ වෙතත් පසුව තලේබාන් සංවිධානය ඇෆ්ඝන් ක්‍රිකට් මණ්ඩලය වෙත නියෝග කර තිබුණේ සුපුරුදු පරිදි ක්‍රිකට් කටයුතු සිදුකරගෙන යන ලෙසට යි.

ඒ අනුව ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර පිටියේ මේවන විටත් ක්‍රීඩාකරමින් සිටින අතර ඔවුන් නියෝජනය කරන්නේ තලේබාන් ත්‍රස්ත සංවිධානය විසින් අලුතින් පිහිටුවනු ලැබූ රාජ්‍යයයි.

තලේබාන් පාලනය යටතේ ඇෆ්ඝන් කණ්ඩායම තරගවදින පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ද මෙය වනවා.

ශ්‍රේණිගත කිරීම්

අද තරගය දෙස අවධානය යොමු කිරීමේ දී ICC ශ්‍රේණිගත කිරීම් තුළ ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සහ ස්කොට්ලන්තය හිමි කරගෙන සිටින ස්ථාන ද වැදගත්.

පන්දුවාර විස්ස ශ්‍රේණිගත කිරීම් තුළ මේවන විට ස්කොට්ලන්තය පසුවන්නේ 14 වැනි ස්ථානයේ යි.

එහෙත් ඇෆ්ඝනිස්තානය එම ශ්‍රේණිගත කිරීමෙහි 08 වැනි ස්ථානයේ පසුවනවා.

කෙසේ වෙතත් මූලික වටයේ තරගවල දී ස්කොට්ලන්තය කැපී පෙනෙන ලෙස දක්ෂතා දැක්වූවා.

B කාණ්ඩයෙන් තරග වැදුණු ස්කොට්ලන්තය එම වටයේ සහභාගී වූ සියළු තරග ජය ගත්තේ ප්‍රසාද ලකුණු 06ක් ලබා ගනිමින්.

ඔවුන් ප්‍රබල බංග්ලාදේශ කණ්ඩායම පරාජය කිරීම විශේෂයෙන් කැපී පෙනුනා.

ප්‍රබල ඇෆ්ඝනිස්තානය

අනෙක් පසින් ගත් කල විස්සයි විස්ස පිටියේ කැපී පෙනෙන චරිත කිහිපයක් ම ඇෆ්ඝන් කණ්ඩායමට අන්තර්ගත වී සිටිනවා.

ඒ අතරින් ප්‍රමුඛයා වන්නේ දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන්.

ඊට අමතරව මොහොමඩ් නබී වැනි ක්‍රීඩකයින් ද සුළු කොට තැකිය හැකි නැහැ.

ඇෆ්ඝන් ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම ලොව වටා ඇති ලීග් තරගවලට ක්‍රීඩා කර තිබීම ද ඔවුන්ගේ පළපුරුද්ද පිළිබඳ තක්සේරු කළ හැකි සාධකයක් වනවා.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිත යි.

Rate this item
(0 votes)
Last modified on Monday, 25 October 2021 19:11