May 11, 2024

සුනඛයන් ගානටවත් අමෙරිකාවට නොවටින ඇෆ්ගන් ජනතාව (VIDEO)

අමෙරිකා එක්සත් ජනපදය වසර 20ක් පුරාවට මෙහෙයුම් සිදුකර පසුව අත්හැර දැමූ ඇෆ්ගනිස්ථානය මේ වන විට තලේබාන් ත්‍රස්ත සංවිධානයේ පාලනයට නතු වී අවසන්ය.

බොහෝ ජනතාවක් මෙම පාලනය බිඳ වැටීමෙන් පසුව සිය පවුල්වල පිරිස සමඟ ඇෆ්ගනිස්ථානයෙන් පලා යෑමට උත්සාහ කරමින් සිටියි.

එලෙස පලා යෑම සඳහා අනාරක්ෂිත ලෙස ගුවන් යානයක එල්ලී සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉහළ අහසේ දී ගුවන් යානයෙන් වැටී මිය ගොස් තිබුණා.

මේ අතර කාබුල් හී පිහිටි හමීඩ් කර්සායි ගුවන්තොටුපොළ අමෙරිකානු හමුදා තාවකාලිකව බලය තහවුරු කරගෙන සිටින අතර ඔවුන් විසින් සිය රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු පිරිස ඇෆ්ගනිස්ථානයෙන් පිටත් කරගනිමින් සිටියි.

ගලවා ගැනීමේ මෙහෙයුම් අතර ඇෆ්ගනිස්ථානයේ සිටින අමෙරිකානු හමුදාවේ විශේෂ සුනඛ ඒකකය වන K-9 බලඇණියේ සුනඛයන් සියලු දෙනාවමද විශේෂ ගුවන් යානයක් මඟින් ගෙන යෑමට අමෙරිකාව කටයුතු කර තිබෙනවා.

මෙම මෙහෙයුම්වලදී සිවිල් ජීවිතවලට වඩා සුනඛයන්ගේ ජීවිත වටිනවාදැයි අසමින් අමෙරිකාව වෙත සමාජ මාධ්‍ය ඔස්සේ පිරිස් විසින් චෝදනා කරමින් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. 

සුනඛයන්ගේ සහ මිනිස්සුන්ගේ ජීවිතවල වටිනාකම පිළිබඳවද දැන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි සංවාදයක් ඇතිවෙලා. පිරිසක් විසින් මිනිස් ජීවිතයක වටිනාකම ගැන පවසද්දී තවත් පිරිසක් කියා සිටින්නේ K-9 බලඇණියේ සිටින සුනඛයන් මිල අධික බවත් ඔවුන් දැඩි පුහුණුවකට ලක් කළ සුනඛයන් පිරිසක් බවයි.

මේ වන විටත් ඇෆ්ගන් ජනතාව ගුවන්තොටුපොළ භූමියේ සහ ගුවන් පථවල ගුවන් යානයකට නැග ගැනීමේ අරමුණින් රැඳී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 17 August 2021 07:50