May 01, 2024

ඊශ්‍රායල නව අගමැති වැඩ අරඹයි - ගාසා තීරයට ප්‍රබල ප්‍රහාරයක් (VIDEO)

ගාසා තීරයේ හඳුණාගත් ඉලක්ක වෙත ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට ඊශ්‍රායල ප්‍රහාරක යානා ක්‍රියා කර තිබෙනවා.

ඒ දෙපාර්ශවය අතර ඇතිකරගත් සටන් විරාමය ආරම්භ වී මසක් ගත වීමටත් පෙර යි.

එමෙන්ම ඊශ්‍රායලයේ සිදු වූ බල පෙරළියෙන් පසු මෙම ප්‍රහාරය දෙස වෙනදාටත් වඩා ජාත්‍යන්තර අවධානය යොමු වී තිබෙනවා.

නෆ්තාලි බෙනෙට් නව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව ගාසා තීරයට එල්ල කළ පළමු ගුවන් ප්‍රහාරය ලෙසට යි මෙය සැළකෙන්නේ.

මේ අතර පලස්තීන පුවත් ආයතනයක්වන “ශෙහාබ්” පවසන්නේ, ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) මෙම ප්‍රහාරයේ දී සරණාගත කඳවුරක් ද ඉලක්ක කර ඇති බවයි.

එය දකුණුදිග ගාසා තීරයේ පිහිටි බව ඔවුන් පවසනවා.

කෙසේවෙතත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කොට සිටින්නේ හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ සිට අනතුරුදායක බැලූන කිහිපයක් සිය භූමිය වෙත ගුවන්ගත කර ඇති බවයි.

එයට ප්‍රතිචාර ලෙස හඳුණාගත් හමාස් ඉලක්ක කිහිපයකට මෙලෙස ප්‍රහාර එල්ල කළ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

තව ද තම ප්‍රහාරවල වීඩියෝ දර්ශන ද ඊශ්‍රායල ආරක්ෂක හමුදා විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා.



Rate this item
(0 votes)
Last modified on Wednesday, 16 June 2021 08:22