April 19, 2024

“චීන ණය” ලෝකය වෙලාගන්න හැටි ගැන ඊශ්‍රායලයෙන් හෙලිදරව්වක්

චීනය විසින් ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අභිබවා යමින් ලෝකයට ණය ලබාදී ඇති බවට “ද ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල්” පුවත්පත විසින් හෙලිදරව්වක් කර තිබෙනවා. 2020 වසරේ දී මෙම ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 5.6ක් වූ බවත් එය එය ලෝක ණය ප්‍රතිශතයෙන් 65%ක පමණ ප්‍රමාණයක් වන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ලෝකයේ විශාලතම විදේශීය ණය හිමියා බවට චීනය පත්වෙලා ඉන්නවා.

ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතාව චීනයේ දායකත්වය ලෝකයට ලබාදීම අරමුණු කරගෙන නිර්මාණය කරගෙන ඇති වැඩපිළිවෙළක් හරහා චීනය විසින් මෙම ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන බවට පවසන එම පුවත්පත විසින් වැඩිදුරටත් පවසා තිබුණේ සත්‍යය ඊට වඩා එහාට ගොස් ඇති දෙයක් බවයි.

දේශපාලනික, විදේශීය සම්බන්ධතා සහ ආර්ථිකය පිළිබඳව හසල දැනුමක් ඇති එම ක්ෂේත්‍රය තුළ ක්‍රියාකාරිකයෙකු වන ෆේබියන් බෝසාර්ට් විසින් මෙම හෙළිදරව්ව “ද ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල්” වෙත ලිපියක් මඟින් සිදුකර තිබෙනවා.

ඔහු විසින් සඳහන් කර සිටින්නේ චීනය ගෝලීය මහජන යහපත උදෙසා යැයි ප්‍රකාශ කරමින් කොල්ලකාරී, ණය ලබා ගන්නා රටවලට එරෙහි දැඩි කොන්දේසි සහිතව පරාදෘෂ්‍ය නොවන ආකාරයේ ගිවිසුම් හරහා ණය ලබාදෙමින් සිටින බවයි.

මෙම කිසිදු ආකාරයක තිරසාර නොවන ණය ක්‍රමයන් හරහා ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකය පරාධීනත්වයට පත්වන බවත්, දේශපාලනය තුළත් ගැටලුකාරී තත්තවයන් නිර්මාණය කිරීමට සමත්ව ඇති බවත් එය එම රටවල ස්වෛරීයභාවයට ගැටලු ඇති කරන්නක් බවත් බෝසාර්ට් විසින් ඔහුගේ ලිපිය හරහා පවසා තිබෙනවා.

එමෙන්ම ෆේබියන් බෝසාර්ට් විසින් සිය වාර්තාව තුළින් හෙළිකර තිබෙන්නේ චීනය විසින් ණය කොන්දේසි හෙළි නොකිරීමට සහ ණය ලබාගන්නා පවා නොදන්නා දැඩි රහස්‍යතා වගන්තිද මෙම ණය ගිවිසුම් තුළට ඇතුළත් කර ඇති බවයි. 

ඔහු විසින් වැඩිදුරටත් පවසා සිටින්නේ මෙම ණය යෝජනා ක්‍රම ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය (ඕඊසීඩී) රටවල් විසින් ලබා දී ඇති සංවර්ධන ආධාරවල අනාවරණය කිරීමේ ප්‍රමිතීන්ට අනුකූල නොවන බවත්, ඒවා තුළ සැඟවුණු ණය” පිළිබඳ ගැටළුවක් ඇති කරන බවයි.

වත්මන් ලෝකයේ විශාලතම ණය දෙන්නා වූවත් ලෝකය විසින් සංවර්ධනය වෙමින් පවතින රටවලට ණය ලබාදීමේ දී එකඟව පවතින පොදු නීති රාමුව වන “පැරිස් ක්ලබ්” සමඟ චීනය මෙතෙක් එකතු වී නොමැති බවද ඔහු විසින් හෙළිකර තිබෙනවා. 

එමඟින් ණය ලබාදීමේ දී අනුගමනය කළ යුතු විනිවිද භාවය සහ තිරසාර බව යනු සියලු වගකීම්වලින් චීනය නිදහස්ව සිටින බවයි බෝසාර්ට් පවසන්නේ. ඒ හේතුවෙන් ණය ගෙවීමේදී චීනයට ප්‍රමුඛතාවය ලබාගැනීමට චීනය කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණා. එමෙන්ම අනෙකුත් විදේශීය ණය හිමියන් හා සසඳන විට චීන ණය දෙන කොන්ත්‍රාත්තුවලට දැඩි ආරක්ෂක වගන්ති ඇති බවත් බෝසාර්ට් සිය  අධ්‍යයනයෙන් සොයාගෙන තිබෙනවා.

චීනයෙන් ණය ලබාගන්නා රටවලට චීන බැංකුවල "විශේෂ බැංකු ගිණුම්" පවත්වාගෙන යාමට බල කරන බවත් එහිදී චීනය විසින් අරමුදල් සපයන ව්‍යාපෘතිවලින් ලැබෙන ආදායම ඇපකරයක් ලෙස තබා ගැනීම සිදුකරන බවත් වාර්තා වෙනවා. එමෙන්ම ශ්‍රම හෝ පාරිසරික ප්‍රතිපත්ති ඇතුළුව ණය ලබා ගන්නා රටේ නීතිවල සැලකිය යුතු වෙනසක් සිදු වුවහොත් ණය හිමියාට වහාම ආපසු ගෙවීමක් හෝ වන්දි මුදලක් ඉල්ලා සිටිය හැකි වගන්තිද චීනය විසින් සිය ණය ගිවිසුම්වලට ඇතුළත් කර ඇති බවද හෙළිදරව් වී තිබෙනවා.

චීන ණය කොන්දේසි නිර්මාණය කර ඇත්තේ පිරිසිදු වාණිජ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පමණක් නොවන බවත්, චීන රාජ්‍යයේ දේශපාලන-උපායමාර්ගික අරමුණු ආරක්ෂා කිරීම සඳහා බව මෙයින් පැහැදිලිව පෙනෙන බව බෝසාර්ට් විසින් සිය ලිපිය හරහා ප්‍රකාශ කර තිබෙනවා.  එවැනි නියමයන් ණය ගැතියාගේ විදේශ ප්‍රතිපත්ති කෙරෙහි ණය දෙන්නාගේ බලපෑම වැඩි කරන අතර ඒවා සෑම විටම චීන දේශපාලනයට අනුකූල වන බව සහතික කිරීමක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

Rate this item
(3 votes)