April 19, 2024

ඊශ්‍රායල නැවකට ඉන්දියානු සාගරයේ දී හඳුනා නොගත් ප්‍රහාරයක්!

ඉන්දියානු සාගරයේ උතුරු කලාපය ආසන්නයේ දී ඊශ්‍රායල භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හඳුනා නොගත් අවියකින් එල්ල කරන ලද ප්‍රහාරයකින් පසුව ගිනි ගැනීමක් ඇතිව තිබෙන බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

ඊශ්‍රායලයේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත මෙම නෞකාව ගමන් කරමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල වූ බවයි සඳහන් වන්නේ.

මෙම පුවත සම්බන්ධයෙන් කිසිම තහවුරු කිරීමක් ඊශ්‍රායලය විසින් වාර්තා කර නොතිබුණත් රොයිටර් පුවත් සේවය ඊශ්‍රායලයේ “N12” නාලිකාවේ පුවතක් උපුටා දක්වමින් පවසා තිබුණේ නෞකාවට එල්ල වූ ප්‍රහාරය පිටුපස ඉරාන ආරක්ෂක අංශ සිටියාද යන්න පිළිබඳව ඊශ්‍රායල ආරක්ෂක බලකාය විසින් විශේෂ පරික්ෂණයක් ආරම්භ කර ඇති බවය

ලෙබනන් ගැති රූපවාහිනී නාලිකාවක් වන අල් මායාදීන් නාලිකාව විසින් මෙම නෞකාවට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව මුලින්ම වාර්තා කර තිබුණු අතර ඔවුන් පවසා තිබුණේ ඊශ්‍රායල නෞකාවකට හඳුනා නොගත් අවියකින් ප්‍රහාරයක් එල්ල කර ඇති බවටයි.

කෙසේ වෙතත් ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් අනාවරණය කර සිටියේ මෙලෙස එල්ල වී තිබුණේ මිසයිල ප්‍රහාරයක් බවට සැක කරන බවත්, ඉන් නෞකාවට විශාල හානියක් සිදුව නොමැති බවයි. 

මෙම සිදුවීමෙන් පසුවද නෞකාව සිය ගමනාන්තය දක්වා ගමන් කරමින් සිටින බවද ඊශ්‍රායල විසින් පවසා තිබුණා.

ප්‍රහාරයට ලක්වූ නෞකාවේ සම්පුර්ණ අයිතිය ඊශ්‍රායලය සතුව නොමැති බවත් එය බ්‍රිතාන්‍ය සමාගමකටද අයත් වන බවත් N12 මාධ්‍ය නාලිකාව උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

Rate this item
(0 votes)