May 04, 2024

සටන් විරාමය තුළ සැඟවුණු ගිනි දළු : ඊශ්‍රායල අගමැතිගෙන් යළිත් හමාස් වෙත දැඩි අනතුරු ඇඟවීමක්

හමාස් සංවිධානය ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ල කිරීමට පෙර නැවත වරක් සිතනු ඇති බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබේ.

බීබීසී පුවත් ජාලය “ද ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල්“ උපුටා දක්වමින් වාර්තා කර තිබුණේ ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා විසින් ගාසා තීරයට එරෙහිව ගෙන ගිය ගුවන් මෙහෙයුම් සුවිශේෂී සාර්ථකත්වයක් ලැබූ බවට ප්‍රකාශ කර ඇති බවයි.

එමෙන්ම අග්‍රාමාත්‍යවරයා විසින් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ මෙම ගුවන් ප්‍රහාරයන් මඟින් හමාස් සටන්කාමීන්ගේ භූගත උමං මාර්ගයන් විනාශ කර ඒවා මර උගුලක් බවට පරිවර්තනය කර ඇති බවයි.

එමෙන්ම මෙම මෙහෙයුම් හමුවේ හමාස් සටන්කාමීන්ගේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් 25 දෙනෙකු සහ සටන්කාමීන් 200 දෙනෙකු ඝාතනය කළ බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම ඉතිරිව සිටින සටන්කාමීන් වෙත අග්‍රාමාත්‍යවරයා විසින් දැඩි අනතුරු ඇඟවීමක් කළ අතර ඔහු පවසා සිටියේ “මිය නොගිය සටන්කාමීන් දන්නවා ඊළඟට අප ඔවුන් වෙත ළඟා විය හැකි බව. එය අහසින් හෝ පොළොවින් විය හැකියි..“ යනුවෙනි.

ලෝකයේ වෙනත් කිසිදු රටක් නොකළ පියවර ගනිමින් ඊශ්‍රායල හමුදාව සිවිල් වැසියන්ට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා යා හැකි උපරිම දුර ගිය බව නෙතන්යාහු මහතා ඔහුගේ ප්‍රකාශයේ දී අවධාරනය කර සිටියේය.

හමාස් සහ ඊශ්‍රායල දැනට පනවාගෙන ඇති සටන් විරාම ගිවිසුම ඊජිත්තුව විසින් යෝජනා කළ එකක් වන අතර එය දින 11ක් සඳහා ක්‍රියාත්මක වන අතර එම කාලය තුළ දෙරට අතර සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 21 May 2021 17:18