May 04, 2024

රුසියාවෙන් ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක්!

ජාත්‍යන්තර බලපෑම් හමුවේ වූවද ගාසා තීරයේ මෙහෙයුම් නොනවත්වන බවට ඊශ්‍රායලය විසින් ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් පසුව රුසියාව විසින්ද එයට ප්‍රබල පිළිතුරුක් ලබාදී තිබේ.

ඒ අනුව රුසියාව විසින් ඊශ්‍රායලය වෙත දැනුම් දී ඇත්තේ සිවිල් වැසියන්ගේ ජීවිත අහිමි වන ආකාරයෙන් කරගෙන යනු ලබන ප්‍රචණ්ඩ ක්‍රියා තවදුරටත් නොඉවසන බවයි.

මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවන් හේතුවෙන් ක්‍රිම්ලීනය දැඩි කනස්සල්ලයට පත්ව සිටින බවත් ඊශ්‍රායලය ගන්නා සියලු පියවරයන් පිළිබඳව දැඩිව සිතා බලා කටයුතු කරන ලෙසත් ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කළ බවට රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය මිහායිල් බොග්ඩනොව් පවසා තිබේ.

එමෙන්ම රුසියාව විසින් ඊශ්‍රායල - පලස්තීන අර්බුදය පිළිබඳව ඉතාමත් ළඟින් අධීක්ෂණය කරමින් සිටින බව ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් විසින් මාධ්‍ය වෙත පවසා තිබුණි.

ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ මෙම ඇවිලෙන ගින්නට ඉන්ධන එකතු නොකිරීම සඳහා දෙපාර්ශවය විසින් තමන් කරන ප්‍රකාශයන්වලදී දැඩිව ප්‍රවේශම් වෙන ලෙසයි. 

රුසියාව විසින් දෙපාර්ශවය අතර සාකච්ඡා ආරම්භ කිරීම සඳහා දායකත්වය ලබාදීමට රුසියාව සිය බලතල භාවිතා කිරීමට සුදානම් බවද දිමිත්‍රි පෙස්කොව් විසින් සඳහන් කළේය.

ඊයේ (19) වන විට ඊශ්‍රායල ප්‍රහාරයන් හමුවේ ගාසා තීරය තුළ පුද්ගලයින් 219 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එමෙන්ම ඊශ්‍රායලය වෙත එල්ල වෙන ප්‍රහාරයන්වලට පමණක් ප්‍රතිචාරයන් දක්වන ලෙසත්, වෙනත් ප්‍රහාරයන්ට නොයන ලෙසත් ජාත්‍යන්තරය විසින් කරන ලද ඉල්ලීම පවා ඊශ්‍රායලය ඉවත දමා ඇති අතර ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා විසින් දැඩිව ප්‍රකාශ කර තිබුණේ ඊශ්‍රායලය තමන්ව ආරක්ෂා කරගැනීමට පමණක් හැර වෙනත් කිසිදු දෙයක් කර නොමැති බවයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 20 May 2021 08:40