May 02, 2024

ඊශ්‍රායලයෙන් ලෙබනනයට ප්‍රහාරයක්

(වීඩියෝ දර්ශන මෙම සටහන අවසානයේ)

ඊශ්‍රායල ආරක්ෂක අංශ ලෙබනන භූමිය දෙසට කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඒ මීට පැය කිහිපයකට පෙර ලෙබනනය දෙසින් එල්ල වූ රොකට් ප්‍රහාරයට පිළිතුරු ලෙස යි.

එහි දී ලෙබනනය දෙසින් රොකට් ප්‍රහාර 06ක් එල්ල වූ අතර ලෙබනන - ඊශ්‍රායල දේශ සීමාව ආසන්න ප්‍රදේශයේ ඒවා පුපුරා ගියා.

ඊශ්‍රායලයේ උතුරු කෙළවරේ, ලෙබනන දේශ සීමාවට ආසන්නව පිහිටි "මිස්ගව් අම්" නමැති ප්‍රදේශයේ පිහිටුවා ඇති රොකට් ප්‍රහාර පිළිබඳ අනතුරු ඇඟවීමේ සයිරන් පද්ධතිය ද මෙහි දී ක්‍රියාත්මක වී ඇති අතර පුවත් ආරංචි මාර්ග උපුටා දක්වන ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ රොකට් ප්‍රහාර 6ක් එල්ල වී ඇති බවට තොරතුරු ලැබෙන බවයි.

මෙම සිදුවීමෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් නොවූ බව ඊශ්‍රායල KAN පුවත් සේවය පවසන අතර ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ප්‍රකාශ කළේ සියළු රොකට් ප්‍රහාර පතිත වී ඇත්තේ දේශ සීමාවේ වූ ලෙබනන භූමියටම බවයි.

කෙසේ වෙතත් සිය භූමිය ඉලක්ක කර එල්ල කළ මෙම රොකට් ප්‍රහාරයන්ට ප්‍රතිචාර ලෙස, එම රොකට් ගුවන් ගත වූ ස්ථානයට ඊශ්‍රායල ආරක්ෂක හමුදා කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

රොකට් ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශවයක් භාර ගෙන  නැහැ.

කෙසේ වෙතත් පලස්තීනයට සහය පළ කරන පිරිසක් මෙය පසුපස සිටිනු ඇති බවටයි සැක කෙරෙන්නේ.

ලෙබනනයේ සිටින එක්සත් ජාතීන්ගේ අන්තර් කාලීන හමුදාව (UNIFIL) පවසා ඇත්තේ “රෂායා අල් ෆෞඛාර්” නමින් හැඳින්වෙන දකුණු දිග ලෙබනන භූමියක සිට මෙම රොකට් ප්‍රහාර දියත් වී ඇති බවයි.

ලෙබනන - ඊශ්‍රායල දේශ සීමාවේ ගැටුමක් ඇති නොවන්නට ද ඔවුන් මැදිහත් වූ බව සඳහන්.

පසුගිය 13 වැනි දා ද ලෙබනනයේ සිට ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර තුනක් එල්ල වූ අතර අදාළ රොකට් මාලාව උතුරු ඊශ්‍රායලයට ඔබ්බෙන් පිහිටි මධ්‍යධරණී මුහුදට වැටුණු බව පසුව හෙළි වූවා.

ඊශ්‍රායල කාලතුවක්කු හමුදා ලෙබනනය දෙසට පහර දෙන අයුරු සහ ලෙබනනයේ සිට පැමිණි රොකට් පතිත වී ඇති ආකාරය දැක්වෙන වීඩියෝ පට පහතින්..



මැයි මස මුල දී ඊශ්‍රායල - පලස්තීන ජනතාව අතර දැඩි ගැටුම්කාරී වාතාවරණයක් නිර්මාණය වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය 10 වැනි දා හමාස් සංවිධානය ගාසා තීරයේ සිට ඊශ්‍රායලය වෙත ප්‍රබල රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළා.

එලෙස එල්ල වුණු රොකට්වලින් බොහොමයක් විනාශ කිරීමට ඊශ්‍රායල මිසයිල නාශක පද්ධතිය සමත් වුණත් ඇතැම් ඒවා ඊශ්‍රායලයට පතිත වූවා.

එයට පිළිතුරු ලෙස එදිනම ඊශ්‍රායල ප්‍රහාරක ගුවන් යානා ගාසා තීරයට පහර දීම ඇරඹූ අතර ඒ සමගයි එම කලාපයේ දැඩි උණුසුම් වාතාවරණයක් නිර්මාණය වී තිබෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 19 May 2021 19:34