April 25, 2024

ඕනම රටකට පහරදිය හැකි මිසයිලයක් රුසියාවෙන් උඩුගුවනට

November 30, 2021

ශබ්දයේ වේගය අභිබවා යා හැකි හෙවත් “හයිපර්සොනික්” කාණ්ඩයේ තවත් “සර්කෝන්” කෘෘස් මිසයිලයක් තමන් විසින් අත්හදා බැලූ බව රුසියාව ඊයේ (29) නිවේදනය කළා.

රුසියාව නව පරම්පරාවක ආයුධ පද්ධතියක් ස්ථාපනය කිරීමෙහි නිරතව ඇති අතර මෙම මිසයිලය ද එම වැඩසටහනට අයත්.

ධවල මුහුදෙහි තිබූ අද්මිරාල් ගොර්ෂ්කොව් යුද නෞකාවේ සිට එල්ල කොට ඇති මෙම මිසයිලය සාගරයේ තිබූ නෞකාවක් වෙත ඉලක්කය ගෙන ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

අදාළ මිසයිලය මගින් මෙලෙස පහර දී ඇත්තේ කිලෝමීටර 400ක් පමණ දුරින් පිහිටි ඉලක්කයක් වෙතට යි.

එමෙන්ම මෙම මිසයිල අත්හදා බැලීම ඉතා සාර්ථක එකක් වූ බව රුසියාව නිවේදනය කළා.

මීලඟ පරම්පරාවේ දිගුදුර අවියක් ලෙස හයිපර්සොනික් මිසයිල හැඳින්වෙන අතර මේවන විට අමෙරිකා එක්සත් ජනපදය, චීනය සහ උතුරු කොරියාව ද මෙවන් මිසයිල සිය රාජ්‍යයන් සතු කරගැනීම සඳහා අත්හදා බැලීම් සිදු කරනවා.

හයිපර්සොනික් මිසයිල වඩාත් විශේෂ වන්නේ මේවන විට පවතින මිසයිල ආරක්ෂණ පද්ධති මගහැර පහර දීමේ හැකියාව ඒවාට පැවතීම යි.

ඒ හරහා සතුරු රාජ්‍යයක් වෙත පහර දීමේ දී තමන් වෙතට මිසයිලයක් පැමිණෙන බව හඳුණාගැනීමට එම රාජ්‍යයට අපහසුවන අතර මිසයිලය දුර දී විනාශ කිරීම ද අපහසුවනු ඇති.

ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක් පමණ වේගවත් මෙම මිසයිල ඉහළ වායුගෝලය හරහා ගමන් කරනු ලබනවා.

පැයට කිලෝමීටර 6,200ක පමණ වේගයක් මේවා සතුයි.

තමන් සතුව නව හයිපර්සොනික් මිසයිල මාලාවක් ඇති බවට රුසියානු ජනාධිපති පුටින් ප්‍රථමයෙන්ම හෙළි කළේ 2018 වසරේ යි.

මේවන විට අමෙරිකා එක්සත් ජනපදය විසින් නිපදවා ඇති සෑම මිසයිල ආරක්ෂණ පද්ධතියක්ම මගහැර ලොව ඕනෑම ස්ථානයකට පහර දීමේ හැකියාව සිය මිසයිලවලට ඇති බව ඔහු එහි දී ප්‍රකාශ කොට තිබුණා.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 30 November 2021 08:49