April 27, 2024

චීන තර්ජන මැද තායිවාන යානයක් සාගරයට කඩා වැටෙයි

තායිවාන ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානයක් අනතුරට ලක්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා.

මෙම අනතුර සිදුව ඇත්තේ දින කිහිපයක සිට සිදු වූ හමුදා යුද පුහුණුව අතරතුර යි.

කෙසේ වෙතත් මෙම ගුවන් අනතුරත් සමග එම යුද පුහුණුව වහාම ක්‍රියාත්මකවන පරිදි නතර කිරීමට තායිවානය තීරණය කළ බව වාර්තා වූවා.

තායිවාන ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ අදාළ ජෙට් යානය “චයියයි” ගුවන් හමුදා කඳවුරෙන් පිට වී සුළු මොහොතකට පසු රේඩාර් තිරයෙන් අතුරුදන් වූ බව යි.

මේවන විට අනාවරණය වී ඇත්තේ යානය සාගරයට කඩා වැටී ඇති බව යි.

යානය කඩා වැටුණු බවට සැළකෙන මුහුදු ප්‍රදේශය වෙත නෞකා සහ හෙලිකොප්ටර් යානා පිටත් කර යවා ඇති බව පැවසෙන අතර අනතුරට පත් යානයේ 28 හැවිරිදි නියමුවා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව ද සඳහන්.

එමෙන්ම තායිවාන ජනාධිපති සායි යිං-වෙන් මහත්මිය නියෝග කර ඇත්තේ කෙසේ හෝ මෙම අනතුර පිටුපස ඇති හේතුව සොයාගන්නා ලෙසට යි.

නවීකරණය

මෙලෙස කඩා වැටී ඇත්තේ F-16V වර්ගයේ ජෙට් යානයක්.

තායිවානය සතු ප්‍රහාරක යානා වර්ග අතුරින් දියුණුතම වර්ගයක් ලෙස යි එය සැළකෙන්නේ.

එමෙන්ම අදාළ යානය මෙලෙස කඩා වැටී ඇත්තේ දින කිහිපයකට පෙර තායිවාන F-16 යානා සමූහය නවීකරණය කිරීමෙන් අනතුරුව වීම ද විශේෂත්වයක්.

මීට පෙර ද මෙම වර්ගයේ යානා කිහිපයක්ම අනතුරට ලක් වූ අතර, ඒ හේතුවෙන් තමන් සතු F-16V ප්‍රහාරක ජෙට් යානා නව අංගෝපාංග ඇතුළත් කරමින් වැඩි දියුණු කිරීමට තායිවානය පියවර ගත්තා.

නවීකරණය කළ යානාවල නව පරිගණක සහ රේඩාර් පද්ධති ද සවිකොට ඇති බව තායිවාන හිතැති එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කළා.

මෙම නවීකරණයට අමතරව නවීනතම F-16V යානා පෙළක් ද සිය ගුවන් හමුදාව වෙත එක් කරගැනීමට තායිවානය පියවර ගනිමින් සිටින බව යි එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ.

යුද්ධයක අභිමුව

තායිවානය මෙලෙස සිය යුද බලය වර්ධනය කරමින් සහ ප්‍රදර්ශනය කරමින් සිටින්නේ තායිවානයත්, කලාපීය බලවතාවන චීනයත් අතර උණුසුම් වාතාවරණයක් නිර්මාණය වී තිබියදී යි.

චීනය පවසන්නේ තායිවාන දූපත සිය රටට අයත් භූමි ප්‍රදේශයක් බව යි.

එමෙන්ම චීන ජනපති ෂී ජින්පිං මහතා ප්‍රකාශ කර සිටින්නේ තායිවානයේ පාලනය සියතට ගැනීමේ ක්‍රියාවලියේ දී අවැසි වුවහොත් යුද බලය වුව ද භාවිත කිරීමට තමන් සූදානම් බව යි.

මෙවන් තත්ත්වයක චීන ප්‍රහාරක යානා විටින් විට තායිවාන ගුවන් කලාපයට ඇතුළු වී එරට භූමියට ඉතා ආසන්නව පියාසර කිරීමේ සිද්ධි රැසක් ද වාර්තා වූවා.

තායිවාන රජය ද පවසා සිටියේ චීනය මෑත අනාගතයේ දී ම තම රට යුදමය වශයෙන් ආක්‍රමණය කරනු ඇති බවට යි.

කෙසේ වෙතත් තමන් ප්‍රමාණයෙන් කුඩා රටත් වුව ද, එවැන්නක් සිදුවුවහොත් චීනයට එරෙහි යුදමය ප්‍රතිචාර දැක්වීමට තමන් සූදානම් බව යි තායිවානය අවධාරණය කරන්නේ.

සිය යුද බලය වැඩිදියුණු කිරීමට තායිවානය ක්‍රියා කරමින් සිටින්නේ මෙම තත්ත්වයත් සමග යි.

තෙවැනි ලෝක යුද්ධය වෙයිද?

චීනයේ පසමිතුරු රාජ්‍යයක්වන අමෙරිකා එක්සත් ජනපදය, තායිවානය මිතුරු රටත් සේ සැළකීම නොරහසක්.

ඒ අනුව දේශපාලනික වශයෙන් මෙන්ම හමුදාමය ලෙස ද එක්සත් ජනපදයේ සහය තායිවානය වෙත මේවන විටත් ලැබෙමින් පවතිනවා.

CNN පුවත් සේවය වාර්තා කළේ එක්සත් ජනපද හමුදාව තායිවානයට පැමිණ එරට භටයන් පුහුණු කිරීම මේවන විට සිදුවෙමින් ඇති බව යි.

එමෙන්ම තායිවාන හමුදා සාමාජිකයින් ද එක්සත් ජනපදය වෙත ගොස් පුහුණුවීම් කටයුතුවලට සහභාගිවන බව ද ඔවුන් වාර්තා කළා.

මෙම තත්ත්වයත් සමග චීනය සහ තායිවානය අතර යුද ගැටුමක් ඇති වුවහොත් එයට අමෙරිකා එක්සත් ජනපදය ද මැදිහත් වීමේ වැඩි ඉඩකඩ පවතිනවා.

යුදමය අතින් ලොව බලවත්ම රාජ්‍යයන් දෙකක්වන එක්සත් ජනපදය සහ චීනය, තායිවානය හේතුවක් කොට ගනිමින් එලෙස යුද්ධයකට පැටලුනහොත් ඇතැම්විට එය තෙවන ලෝක යුද්ධය බවට ද පත් විය හැකි බවට යි ජාත්‍යන්තර පුවත් විශ්ලේෂකයන් අනතුරු අඟවමින් පවසන්නේ.

එක්සත් ජනපදය සහ චීනය යන රටවල් දෙකම න්‍යෂ්ටික බලවතුන් ද වනවා.

එමෙන්ම චීනය මේවන විට ශ්‍රී ලංකාව ද ඇතුළු ලොව පුරා රටවල් ගණනාවක උපක්‍රමශීලීව මුල්බැසගනිමින් සිටින නිසා ඉහත අයුරින් යුදමය වාතාවරණයක් ඇතිවුවහොත් එය එම රටවල්වලට ද අහිතකර ලෙස බලපානු ඇති.

චීනයේ රතු එළිය

මේ අතර පසුගිය නොවැම්බරයේ පැවැති චීන - එක්සත් ජනපද ජනාධිපතිවරුන්ගේ ඔන්ලයින් සමුළුවේ දී ද තායිවාන අර්බුධය සම්බන්ධයෙන් අදහස් පළ වූවා.

දෙරට අතර පවතින උණුසුම්කාරී වාතාවරණය හමුවේ වැරදි වැටහීම් මත ඇතිවිය හැකි අනවශ්‍ය ගැටුම් වළක්වා ගැනීම සඳහා මෙම සමුළුව පැවැත්වූ බව යි එක්සත් ජනපද බලධාරීන් ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් මෙම සමුළුවේ දී තායිවානය සම්බන්ධයෙන් අහස් දැක්වූ චීන ජනපති ෂී ජින්පිං මහතා විසින් එක්සත් ජනපදයට යම් ආකාරයක අනතුරු ඇඟවීමක් ද සිදු කරනු ලැබුවා.

ස්වාධීන තායිවානයක් බිහි කිරීමට අමෙරිකා එක්සත් ජනපදය සහය දෙන්නේ නම් එය “ගින්දරත් සමග සෙල්ලම් කිරීමක්” බවට යි ජනපතිවරයා පවසා තිබුණේ.

එමෙන්ම තායිවාන පාලකයන් දිගින් දිගටම සිය ස්වාධීනත්වය වෙනුවෙන් එක්සත් ජනපදයේ උදව් ඉල්ලා ඇති බවට ද ජින්පිං මහතා පෙන්වා දී ඇතැයි වාර්තා වූවා.

“තායිවාන අර්බුදය දඩමීමා කරගෙන චීනය පාලනය කිරීමට එක්සත් ජනපදයේ ඇතැම් පිරිස් අදහස් කරනවා. මේක ඉතාමත් භයානක ප්‍රවණතාවයක්. හරියට, ගින්දරත් එක්ක සෙල්ලම් කරනවා වගේ. ගින්දරත් එක්ක සෙල්ලම් කරන අය ඉන්නවා නම් ඒ අය පිළිස්සෙන එක නම් අනිවාර්යයි” යනුවෙන් චීන ජනපතිවරයා ප්‍රකාශ කර තිබුණා.

මෙහි දී අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා පවසා ඇත්තේ චීනයේ සහ එක්සත් ජනපදයේ නායකයන් දෙපළ ලෙස තම වගකීම වන්නේ දෙරටෙහි තරගකාරී බව යුදමය තත්ත්වයක් දක්වා දුර දිග නොයෑමට වගබලා ගැනීම බවට යි.

කියවන්න: "ගින්දරත් එක්ක සෙල්ලම් කරන්න එපා" - චීන ජනපති, බයිඩන්ගේ මූණටම කියයි!

Rate this item
(0 votes)
Last modified on Wednesday, 12 January 2022 19:04