April 26, 2024

"ගින්දරත් එක්ක සෙල්ලම් කරන්න එපා" - චීන ජනපති බයිඩන්ගේ මූණටම කියයි!

November 16, 2021

සීතල යුද්ධයක් ලඟ

ලෝක දේශපාලනයේ පසමිතුරන් බවට පත්ව සිටින චීනය සහ අමෙරිකා එක්සත් ජනපදය යන දෙරටෙහි ජනාධිපතිවරුන් අතර ඔන්ලයින් වීඩියෝ සමුළුවක් අද (එක්සත් ජනපද වේලාවෙන් 15 වැනි සඳුදා) පැවැත්වුණා.

ජෝ බයිඩන් හා ෂී ජින්පිං යන මහත්වරුන් අතර පැවැති මෙම සමුළුව පිළිබඳව ජාත්‍යන්තර පුවත් මාධ්‍ය සිටියේ දැඩි අවධානයෙන්.

දෙරට අතර පවතින උණුසුම්කාරී වාතාවරණය හමුවේ වැරදි වැටහීම් මත ඇතිවිය හැකි අනවශ්‍ය ගැටුම් වළක්වා ගැනීම සඳහා මෙම සමුළුව පැවැත්වූ බව එක්සත් ජනපද බලධාරීන් ප්‍රකාශ කළා.

කතා දිග්ගැස්සෙයි

පැය තුන හමාරක පමණ කාලයක් තිස්සේ රාජ්‍ය නායකයන් දෙදෙනා විවිධ මාතෘකා ඔස්සේ සාකච්ඡා කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එපමණ කාලයක් සමුළුව පැවැත්වීමට සැළසුම් කොට නොතිබුණත් අනපේක්ෂිත ලෙස සාකච්ඡා දීර්ඝ වූ බව යි එක්සත් ජනපද බලධාරීන් උපුටා දක්වන මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් දෙපාර්ශවය අතර පැවැති සාකච්ඡා ගෞරවනීය සහ සුබවාදී ලෙස අවසන් වූ බව ද එක්සත් ජනපද පාර්ශවය සඳහන් කරනවා.

අමෙරිකාවට රතු එළියක්

සාකච්ඡා වූ මාතෘකා අතර මානව හිමිකම්, තායිවාන අර්බුදය සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු යනාදිය ප්‍රධාන වූ බව පැවසෙනවා.

තායිවාන අර්බුදය සම්බන්ධව දෙපාර්ශවය කුමන තැනකට ඒවි දැයි සමුළුව ආරම්භ වීමට පෙරම ලෝක මාධ්‍ය දැඩි අවධානයෙන් පසු වූවා.

කෙසේ වෙතත් මෙම මාතෘකාවේ දී චීන ජනපති විසින් එක්සත් ජනපදයට යම් ආකාරයක අනතුරු ඇඟවීමක් සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

තායිවානය තමන්ට අයත් භූමියක් ලෙසට චීන රජය සළකන අතර පසුගිය දා තායිවාන රජය පවසා සිටියේ චීනය මෑත අනාගතයේ දී ම තම රට යුදමය වශයෙන් ආක්‍රමණය කරනු ඇති බවට යි.

එමෙන්ම තමන් ප්‍රමාණයෙන් කුඩා රටත් වුව ද, ඒ සඳහා යුදමය ප්‍රතිචාර දැක්වීමට තායිවානය සූදානම් බව ද එරට රජය ප්‍රකාශ කර තිබුණා.

එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර කඳවුර එහි දී තායිවාන පාර්ශවයට හිතවාදී ලෙස අදහස් පළ කළ අතර එය චීනයේ දැඩි දෝශදර්ශනයට ද ලක්වූ බව පැවසුණා.

"ගින්දරත් එක්ක සෙල්ලම් කරන්න එපා"

මෙවන් වාතාවරණයක් තුළ, ස්වාධීන තායිවානයක් බිහි කිරීමට අමෙරිකා එක්සත් ජනපදය සහය දෙන්නේ නම් එය “ගින්දරත් සමග සෙල්ලම් කිරීමක්” බවට අද පැවැති සමුළුවේ දී චීන ජනපති ෂී ජින්පිං මහතා ප්‍රකාශ කොට ඇතැයි චීන මාධ්‍ය වාර්තා පවසනවා.

එමෙන්ම තායිවාන පාලකයන් දිගින් දිගටම සිය ස්වාධීනත්වය වෙනුවෙන් එක්සත් ජනපදයේ උදව් ඉල්ලා ඇති බවට ද ජින්පිං මහතා පෙන්වා දී ඇතැයි අදාළ මාධ්‍ය ප්‍රකාශ කරනවා.

“තායිවාන අර්බුදය දඩමීමා කරගෙන චීනය පාලනය කිරීමට එක්සත් ජනපදයේ ඇතැම් පිරිස් අදහස් කරනවා. මේක ඉතාමත් භයානක ප්‍රවණතාවයක්. හරියට, ගින්දරත් එක්ක සෙල්ලම් කරනවා වගේ. ගින්දරත් එක්ක සෙල්ලම් කරන අය ඉන්නවා නම් ඒ අය පිළිස්සෙන එක නම් අනිවාර්යයි” යනුවෙන් චීන ජනපතිවරයා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වෙනවා.

“අපි වෙනස්”

මේ අතර චීනය තුළ සිදුවන බව පැවසෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ මහජන මර්ධනය පිළිබඳව තමන් දැඩි අවධානයෙන් පසුවන බව බයිඩන් මහතා අවධාරණය කොට තිබෙනවා.

කෙසේ වෙතත් චීන ජනපතිවරයා පවසා ඇත්තේ දෙරටෙහි සමාජ ක්‍රමයන් එකිනෙකට වෙනස් බැවින් එකිනෙකාගේ එම වෙනස්කම්වලට දෙරටම අන්‍යොන්‍ය වශයෙන් ගරු කළ යුතු බව යි.

එමෙන්ම සංවර්ධනයේ දී දෙරට තෝරාගෙන ඇති මාර්ග ද එකිනෙකට වෙනස් බවට චීන ජනපතිවරයා පෙන්වා දී තිබෙනවා.

තව ද රටක් ලෙස සංවර්ධනය වීමට ඇති අයිතියට දෙපාර්ශවයම එකිනෙකාට ගරු කරමින් කටයුතු කළ යුතු බව ද ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළ බව වාර්තා වෙනවා.

“අපි සමානාත්මතාවයෙන් එකිනෙකා දෙස බැලිය යුතුයි. ඒ වගේම අප අතර ඇති වෙනස්කම් පාලනය කරගත යුතුයි. අප අතර ඇති වෙනස්කම් පසෙක තබා දෙපාර්ශවයටම ආ හැකි පොදු තැනක් අපි හොයාගත යුතු යැයි මම යෝජනා කරනවා”

චීන ජනපතිවරයා එලෙස ප්‍රකාශ කොට තිබෙනවා.

පැරණි මිතුරා

මෙහි දී අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා පවසා ඇත්තේ චීනයේ සහ එක්සත් ජනපදයේ නායකයන් දෙපළ ලෙස තම වගකීම වන්නේ දෙරටෙහි තරගකාරී බව යුදමය තත්ත්වයක් දක්වා දුර දිග නොයෑමට වගබලා ගැනීම බවට යි.

මේ අතර වොෂිංටන්හි ධවල මන්දිරයේ සිටි බයිඩන් මහතාව බීජිං නුවර සිට ජින්පිං මහතා මෙම සමුළුව තුළ දී අමතා ඇත්තේ “මගේ පැරණි මිතුරා” යන වදනින් වීම ද විශේෂත්වයක්.

"මුහුණට මුහුණ හමුවනු තරම් හොඳ නොවුණත්, මෙවැනි 'වර්චුවල්' හමුවක් ලෙසින් හෝ මාගේ පැරණි මිතුරාව දැකීම මට ලොකු සතුටක්" යනුවෙනුයි ඔහු සාකච්ඡාව ආරම්භ කර ඇත්තේ.

එමෙන්ම චීනය සහ එක්සත් ජනපදය අතර සබඳතා සමීපවනු දැකීමට තමා කැමති බව ද චීන ජනපතිවරයා පවසා තිබෙනවා.

අපි යාළු වෙමු!

ලොව විශාලතම ආර්ථිකයන් හිමි රටවල් දෙක ලෙස මෙන්ම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් දෙදෙනෙකු ලෙස චීනය සහ එක්සත් ජනපදය යන දෙරට අතර සන්නිවේදනය සහ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගත යුතුව තිබෙන බව යි ඔහු පෙන්වා දී ඇත්තේ.

මේ අතර ගෝලීය වසංගත තත්ත්වය සහ ගෝලීය උණුසුම හමුවේ සිදුව ඇති කාලගුණ විපර්යාස සඳහා ලෝක බලවතුන් ලෙස එක්ව කටයුතු කළ යුතු බවට බයිඩන් සහ ජින්පිං යන දෙදෙනාම එකඟ වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

මෙම සමුළුව දෙපාර්ශවයටම පැමිණිය හැකි ස්ථානයක දී පැවැත්වීමට මීට පෙර යෝජනා වී තිබුණත් පවතින වසංගත තත්ත්වය හමුවේ විදෙස් සංචාරයේ යෙදීම චීන ජනපතිවරයා ප්‍රතික්ෂේප කර තිබුණා.

සමුළුව ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ වීඩියෝ තාක්ෂණයෙන් පැවැත්වූයේ ඒ අනුව යි.

Rate this item
(3 votes)
Last modified on Tuesday, 16 November 2021 17:36