May 01, 2024

යුද්ධය ඇරඹුනොත් යුක්‍රේනයේ ලාංකිකයින්ට වෙන දේ Featured

February 15, 2022

යුක්‍රේනය ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින යුද උණුසුමත් සමග එරට තුළ සිටින සිය වැසියන් ඉවත් කරගැනීමට ලොව බොහෝ රටවල් මේවන විටත් කටයුතු යොදා අවසන්.

එවන් පසුබිමක එරට සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වාගෙන නොමැති අතර තවමත් ඔවුන් යුක්‍රේනයේ සිටිනවා.

කෙසේ වෙතත් මෙරට විදේශ අමාත්‍යංශය පවසන්නේ යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ තත්ත්වය පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවන බව යි.

එරට සිටින ලාංකිකයින් මේවන විට කිසිදු ගැටලුකාරී වාතාවරණයකින් තොරව රැඳී සිටි බව ද විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කළා.

එමෙන්ම රුසියානු ආක්‍රමණයක් සිදුවුවහොත් යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකිකයන් කඩිනමින් ඉවත් කරගැනීමට අවශ්‍ය කටයුතු මේවන විටත් සිදු කර ඇති බව ද එම අමාත්‍යංශය පවසනවා.

ඒෂියන් මිරර් වෙත වාර්තා වන්නේ මේවන විට යුක්‍රේනය තුළ ශ්‍රී ලාංකිකයින් 40 දෙනෙකු පමණ සිටින බවයි.

ඔවුන්ගෙන් 07 දෙනෙකු උසස් අධ්‍යාපනය සඳහා එහි ගොස් ඇති ශිෂ්‍යාවන් බව සඳහන්.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් යුක්‍රේනය තුළ පිහිටුවා නැහැ.

එබැවින් එරට සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳ කටයුතු මෙහෙයවනු ලබන්නේ තුර්කියේ අන්කාරා නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින්.

යුක්‍රේනය වට කරයි

යුක්‍රේනය සම්බන්ධයෙන් යුද බියක් හටගෙන ඇත්තේ රුසියානු හමුදා කාණ්ඩ විශාල ගණනින් යුක්‍රේන දේශ සීමාවේ ස්ථාපනය කර ඇති මොහොතක යි.

එමෙන්ම එම දේශ සීමා ආසන්නයේ රුසියානු හමුදා සිය යුද බලය ප්‍රදර්ශනය කරමින් පුහුණු මෙහෙයුම්වල ද යෙදෙමින් සිටිනවා.

රුසියානු ජනාධිපති පුටින්, යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ තීරණය මේවන විටත් ගෙන ඇති බව ජනාධිපති ජෝ බයිඩන් මහතා ප්‍රමුඛ අමෙරිකා එක්සත් ජනපද පාලනය විශ්වාස කරනවා.

ජනපති බයිඩන් නේටෝ සහ යුරෝපා සංගමයේ නායකයින් අමතා පවසා ඇත්තේ ඉදිරි දින කිහිපය තුළ ඕනෑම මොහොතක මෙම හමුදා ආක්‍රමණය සිදුවිය හැකි බවට යි.

සිය බුද්ධි අංශ තොරතුරු හරහා මෙම කරුණු අනාවරණය වූ බව ජෝ බයිඩන් මහතා වැඩිදුරටත් පවසනවා.

මීට පෙර එක්සත් ජනපදය විශ්වාස කළේ රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය, මේවන විට බීජිං නුවර පැවැත්වෙන ශීත ඍතු ඔලිම්පික් උළෙල අවසන් වීමෙන් අනතුරුව සිදුවනු ඇති බවට යි.

එහෙත් ශීත ඍතු ඔලිම්පික් උළෙල පැවැත්වෙන අතරතුරේදීම මෙම ආක්‍රමණය සිදුවනු ඇති බවට සිය බුද්ධි අංශ තොරතුරු පෙන්වා දෙන බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා ද මේවන විට පවසනවා.

වැඩිදුර කියවන්න: මීලඟ ලෝක යුද්ධය අතලඟ ද? යුක්‍රේන අර්බුදයේ දැන් තත්ත්වය මෙන්න!

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 15 February 2022 08:03