May 02, 2024

ඊශ්‍රායල - ලෙබනන දේශ සීමාවේ පිපිරීමක්

ඊශ්‍රායල - ලෙබනන දේශ සීමාව ආසන්න ප්‍රදේශයේ පිපිරීම් හඬක් වාර්තා වූ බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.

රොකට් ප්‍රහාර පිළිබඳ අනතුරු ඇඟවීමේ සයිරන් පද්ධතිය ද මෙහි දී ක්‍රියාත්මක වී ඇති අතර පුවත් ආරංචි මාර්ග උපුටා දක්වන ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ රොකට් ප්‍රහාර 6ක් එල්ල වී ඇති බවට තොරතුරු ලැබෙන බවයි.

ලෙබනන භූමියේ සිට ඊශ්‍රායලය දෙසට මේවා එල්ල වී ඇති බව සඳහන්.

"මිස්ගව් අම්" නමැති ප්‍රදේශයේ පිහිටුවා ඇති සයිරන් පද්ධතිය මෙහි දී ක්‍රියාත්මක වී ඇති අතර එම ප්‍රදේශය ඊශ්‍රායලයේ උතුරු කෙළවරේ, ලෙබනන දේශ සීමාවට ආසන්නව පිහිටා තිබෙනවා.

ඊශ්‍රායල KAN පුවත් සේවය පවසන්නේ මෙම සිදුවීමෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් නොවූ බවයි.

කෙසේ වෙතත් මේ පිළිබඳ සොයාබලමින් සිටින ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ප්‍රකාශ කළේ සියළු රොකට් ප්‍රහාර පතිත වී ඇත්තේ දේශ සීමාවේ වූ ලෙබනන භූමියටම බවයි.

පසුගිය 13 වැනි දා ද ලෙබනනයේ සිට ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර තුනක් එල්ල වූ අතර අදාළ රොකට් මාලාව උතුරු ඊශ්‍රායලයට ඔබ්බෙන් පිහිටි මධ්‍යධරණී මුහුදට වැටුණු බව හෙළි වූවා.

ලෙබනනීය ශියා ඉස්ලාමික දේශපාලන පක්ෂයක් මෙන්ම සන්නද්ධ කණ්ඩායමක් වන හිස්බුල්ලා සංවිධානය මෙම ප්‍රහාරය පසුපස සිටින බවටයි ඊශ්‍රායලය සැක කරන්නේ.

මැයි මස මුල දී ඊශ්‍රායල - පලස්තීන ජනතාව අතර දැඩි ගැටුම්කාරී වාතාවරණයක් නිර්මාණය වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය 10 වැනි දා හමාස් සංවිධානය ගාසා තීරයේ සිට ඊශ්‍රායලය වෙත ප්‍රබල රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළා.

එලෙස එල්ල වුණු රොකට්වලින් බොහොමයක් විනාශ කිරීමට ඊශ්‍රායල මිසයිල නාශක පද්ධතිය සමත් වුණත් ඇතැම් ඒවා ඊශ්‍රායලයට පතිත වූවා.

එයට පිළිතුරු ලෙස එදිනම ඊශ්‍රායල ප්‍රහාරක ගුවන් යානා ගාසා තීරයට පහර දීම ඇරඹූ අතර ඒ සමගයි එම කලාපයේ දැඩි උණුසුම් වාතාවරණයක් නිර්මාණය වී තිබෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 18 May 2021 02:45