May 07, 2024

ගාසා නායකයාගේ නිවස වෙත ඊශ්‍රායලය ඉලක්කය ගනියි

ගාසා තීරයේ පාලකයා ලෙස සැළකෙන්නාගේ නිවස ඉලක්ක කර අද දින ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසනවා. 

යාහියා සින්වාර් නමැති ඔහු ගාසා තීරය තුළ සිටින ඉහළම හමාස් නායකයා යි. ඊශ්‍රායල ආරක්ෂක අංශ ප්‍රකාශකයෙකුවන බ්‍රිගේඩියර් ජෙනරාල් හිදායි සිල්බර්මාන් විසින් ඊශ්‍රායල හමුදා රේඩියෝව ඔස්සේ මෙම අනාවරණය සිදු කළා.

කෙසේ වෙතත් ප්‍රහාර එල්ලවන අවස්ථාවේ දී සින්වාර් නිවස තුළ සිටියේ ද යන්න පිළිබඳ මෙතෙක් පැහැදිළි නැහැ.

සින්වාර්ගේ නිවෙස පිහිටා ඇත්තේ දකුණු දිග ගාසා තීරයේ පිහිටි "ඛාන් යූනිස්" නමැති නගරයේ වන අතර සින්වාර්ගේ සොයුරාගේ නිවස ද ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායලය පැවසුවා. 

කෙසේ වෙතත් හමාස් ඇතුළු ඉස්ලාමීය ජිහාඩ් කණ්ඩායම් ප්‍රකාශ කරන්නේ මේවන විට මියගොස් ඇත්තේ සිය සාමාජිකයින් 20ක් පමණක් වන බවයි. එහෙත් සැබෑ මරණ ගණන ඊට වඩා බෙහෙවින් ඉහළ අගයක් බව ඊශ්‍රායලය පවසනවා.

ජෙරුසලම ආසන්නයේ වසර ගණනක් තිස්සේ පදිංචිව සිටි පලස්තීන පවුල් ගණනාවක් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට ඊශ්‍රායලය උත්සහ ගැනීමත් සමග පලස්තීන - ඊශ්‍රායල සිවිල් ප්‍රජාව අතර දැඩි ගැටුම්කාරී තත්ත්වයක් හටගත්තා. 

එයට පොලීසිය ඇතුළු ඊශ්‍රායල ආරක්ෂක අංශ ද මැදිහත් වූ අතර පලස්තීන ජනතාවට සිදුවන හිංසා සහ පීඩාවලට ප්‍රතිචාර ලෙස පසුගිය සඳුදා (10) හමාස් ඇතුළු ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම් විසින් ගාසා තීරයේ සිට ඊශ්‍රායලයේ නගර කිහිපයක් ඉලක්ක කරමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළා. 

කෙසේ වෙතත් ඊශ්‍රායල මිසයිල නාශක "අයන් ඩෝම්" පද්ධතිය සක්‍රීය වීමත් සමග හමාස් සංවිධානය එල්ල කළ රොකට්වලින් බොහොමයක් විනාශ වූවා. 

එහෙත් ඉන් කිහිපයක් ඊශ්‍රායල භූමියට ද ඇදවැටුණු බව විදෙස් වාර්තා සඳහන් කළා.

පසුව තම භූමිය ඉලක්ක කරමින් සිදු කළ රොකට් ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය ගාසා තීරයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළ අතර පසුව ඔවුන්ගේ බිම් හමුදාව ද දේශ සීමාවේ සිට ගාසා තීරයට පහර දීම ආරම්භ කළා. 

10 වැනි සඳුදා සිට මෙම පුවත පළ කරන 16 වැනි ඉරිදා දක්වා සතියකට ආසන්න කාලයක් තිස්සේ ඊශ්‍රායලය මෙලෙස ගාසා තීරයට ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කරන්නේ මෙම දින 06 තුළ පලස්තීන බිම්වල සිට සිය රට දෙසට රොකට් ප්‍රහාර 2,800ක් පමණ එල්ල වුණු බවයි. 

මේවායින් ජීවිත හානි කිහිපයක් සිදු වූ බවත් හමුදා සාමාජිකයෙකු ද ඒ අතරවන බවත් ඔවුන් පවසනවා.

පලස්තීන පාර්ශවයේ ජීවිත හානි වැඩි වශයෙන් වාර්තාවන අතර එම ගණන 140 ඉක්මවන බව සඳහන්. 

දරුවන් 40කට වඩා මියගිය පිරිස අතරවන බව ද පැවසෙනවා. 

මියගිය පිරිසට අමතරව පලස්තීනුවන් 1,300ක් පමණ තුවාළ ලබා ඇති බවත්, තවත් සිය ගණනකට උන් හිටිතැන් අහිමි වී ඇති බවත් වාර්තා වෙනවා.

එමෙන්ම ඊශ්‍රායලය සිවිල් ජනතාව ඉලක්ක කරමින් සිය ප්‍රහාර එල්ල කරන බවටයි පලස්තීනය චෝදනා නගන්නේ. 

එහෙත් ඊශ්‍රායලය එම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ඔවුන් අවධාරණය කරන්නේ හමාස් මර්මස්ථාන ඉලක්ක කර පමණක් තමන් ප්‍රහාර දියත්කරන බවයි. 

කෙසේ වෙතත් මෙම ප්‍රහාර පහසුවෙන් නතර කිරීමට තමන් සූදානම් නොමැති බවටත්, සිය රටට පහර දීම සම්බන්ධයෙන් හමාස් සංවිධානයට දැඩි වන්දියක් ගෙවීමට සිදුවන ලෙස පහර දෙන බවටත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙත්‍යාහු පවසනවා. 

ඊයේ දින ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ද නෙතන්‍යාහු අග්‍රාමාත්‍යවරයාට දුරකතන ඇමතුමක් ලබා දී ඇති අතර එහි දී ද ඊශ්‍රායල නායකයා පවසා ඇත්තේ තමන් දිගටම ප්‍රහාර එල්ල කරන නමුත් සිවිල් ජනතාවට සිදුවන හානිය අවමවන පරිදි ඒවා සිදු කිරීමට වගබලාගන්නා බවයි. 

එහෙත් පලස්තීන සරණාගත කඳවුරක් ඊශ්‍රායල ප්‍රහාරවලින් විනාශ වී ඇති අයුරුත් එහි දී දරුවන්, කාන්තාවන් ඇතුළු පිරිසක් මරණයට පත්ව ඇති අයුරුත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.

මේ අතර ඊයේ (16) දින ගාසා තීරයේ පිහිටි මාධ්‍ය ගොඩනැගිල්ලකට ද ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කර එය බිමට සමතලා කර දැමුවා. 

ඇසෝසියට් ප්‍රෙස්, අල් ජසීරා ඇතුළු මාධ්‍ය ආයතන කිහිපයක් එම ගොඩනැගිල්ල ගාසා තීරයේ සිය මධ්‍යස්ථානය ලෙස භාවිත කළා. 

අදාළ ගොඩනැගිල්ලේ සිටි අයට ඉවත්වන ලෙසට දැනුම් දීමෙන් අනතුරුව ඊශ්‍රායල ආරක්ෂක අංශ මෙම ගුවන් ප්‍රහාරය සිදු කරනු ලැබුවා.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 16 May 2021 13:01