May 07, 2024

යුද්ධය ඇරඹෙයි: ජෙට්, යුද්ධ ටැංකි, කාලතුවක්කු සමග ඊශ්‍රායල භටයින් ගාසා වෙත පහරදෙයි

ඊශ්‍රායල බිම් හමුදාව මේවන විට ගාසා තීරයට පහර දීම ආරම්භ කොට තිබෙනවා.

සිය ගුවන් හමුදාව විසින් මෙහෙයවනු ලබන ප්‍රහාර වෙත සහය වීම පිණිස මෙලෙස තමන් ප්‍රහාර ආරම්භ කළ බවයි ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පවසන්නේ.

ඊශ්‍රායල හමුදා මේවන විට කාලතුවක්කු, යුද්ධ ටැංකි සහ පාබල හමුදාව යොදාගෙන ගාසා තීරයට ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් තවමත් ඔවුන් ගාසා තීරයත් ඊශ්‍රායලයත් වෙන් කෙරෙන දේශ සීමාව පැන නොමැති බව ඊශ්‍රායලයේ Kan11 රූපවාහිනී නාලිකාව ප්‍රකාශ කරනවා.

මේ අතර හමාස් සංවිධානයට දැඩි ලෙස “වන්දි ගෙවීමට” සිදුවන සේ ඔවුනට පහර දෙන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු පවසනවා.

ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ, හමාස් සංවිධානයට පහර දීම ඉතා ප්‍රබලව සිදු කිරීමට තමන් අපේක්ෂා කරන බවයි.

එමෙන්ම අවශ්‍ය තරම් කාලය ගෙන මෙම මෙහෙයුම සිදු කරන බව ද ඔහු ප්‍රකාශ කොට සිටිනවා.

ඊශ්‍රායල ඩ්‍රෝන යානා, හෙලිකොප්ටර සහ ප්‍රහාරක ජෙට් යානා විසින් ගාසා තීරයට පහර දෙන්නේ සඳුදා (10) දිනයේ සිටයි.

ඒ, ගාසා තීරය පාලනය කරන හමාස් සංවිධානය ප්‍රමුඛ ඉස්ලාමීය ජිහාඩ් කණ්ඩායම් විසින් ගාසා තීරයේ සිට ඊශ්‍රායලය වෙත ප්‍රබල රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට පිළිතුරු ලෙසයි.

එලෙස එල්ල වුණු රොකට්වලින් බොහොමයක් විනාශ කිරීමට ඊශ්‍රායල මිසයිල නාශක පද්ධතිය සමත් වුණත් ඇතැම් ඒවා ඊශ්‍රායලයට පතිත වූවා.

පලස්තීන ජනතාවට අයත්ව තිබූ නිවාස සහ දේපලවලට ඊශ්‍රායල කණ්ඩායම් හිමිකම් කීමට උත්සහ කිරීමත් සමග පසුගිය සති කිහිපය පුරා ඊශ්‍රායල - පලස්තීන ජනතාව අතර දැඩි ගැටුම්කාරී වාතාවරණයක් නිර්මාණය වූවා.

ඒ අතරතුර ජෙරුසලමේ පිහිටි, මුස්ලිම් ප්‍රජාව අතර ශුද්ධ වූ ස්ථානයක් ලෙස සැළකෙන පල්ලියකට ද පලස්තීන ප්‍රජාව ගිනි තබා තිබුණා.

එම සිදුවීම්වලට පසුවයි හමාස් සංවිධානය සඳුදා (10) රොකට් ප්‍රහාර මාලාව එල්ල කළේ.

මෙලෙස එල්ල කළ රොකට් ප්‍රමාණය 1500ක් පමණ වනවා.

ඉන් මරණයට පත්ව ඇති ඊශ්‍රායල පාර්ශවයේ ගණන 06ක්.

සය හැවිරිදි දරුවෙකු සහ ඊශ්‍රායල ආරක්ෂක හමුදා භටයෙක් ද ඒ අතර වනවා.

මේ අතර ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ඊයේ (13) දිනය වන විට පලස්තීනුවන් 100ක් පමණ මරණයට පත්ව ඇති බව ගාසා තීරයේ වෛද්‍ය කණ්ඩායම් ප්‍රකාශ කරනවා.

කුඩා දරුවන් 27ක් ද ඒ අතර සිටින බව පැවසෙනවා.

එමෙන්ම තවත් 600ක් පමණ දෙනා තුවාළ ලබා ඇති බව වාර්තා වෙනවා.

ඊශ්‍රායල ගුවන් හමුදාව මේවන විට ගාසා තීරයේ ඉලක්ක 650කට පමණ බෝම්බ හෙළා ඇති අතර ඉතා උස් ගොඩනැගිලි කිහිපයක් ද පොළවට සමතලා කරනු ලැබුවා.

තමන් පහර දෙන්නේ හමාස් සංවිධානයේ මර්මස්ථාන වෙත පමණක් බවට ඊශ්‍රායලය සපථ කොට සිටින අතර ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ සිය ප්‍රහාරවලින් ප්‍රධාන හමාස් කමාන්ඩර්වරුන් ඇතුළු භටයින් සිය ගණනක් මරණයට පත් වූ බවයි.

ඊශ්‍රායලය එලෙස පැවසුවත්, ගාසා තීරයෙන් ලැබෙන පුවත් වාර්තා පෙන්වා දෙන්නේ එම ප්‍රහාරවලින් බොහොමයක් සිවිල් ජනතාව වෙත එල්ල වී ඇති බවයි.



Rate this item
(0 votes)
Last modified on Friday, 14 May 2021 04:34