May 02, 2024

තවත් රොකට් ප්‍රහාරයක්! ඊශ්‍රායලය සමග ලෙබනනයත් පැටලෙන ලකුණු!

ලෙබනනයේ සිට ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර මාලාවක් එල්ල වී තිබෙනවා.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) සිය නිල ට්විටර් ගිණුමෙහි සඳහන් කර ඇත්තේ ලෙබනනය දෙසින් රොකට් ප්‍රහාර 3ක් එල්ල වුණු බවයි.

කෙසේ වෙතත් එම රොකට් ප්‍රහාර වලින් කිසිදු හානියක් සිදු නොවූ බව ද ඔවුන් සඳහන් කරනවා.

එම ට්විටර් පණිවිඩය මගින් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව වැඩිදුරටත් පවසන්නේ අදාළ රොකට් මාලාව උතුරු ඊශ්‍රායලයට ඔබ්බෙන් පිහිටි මධ්‍යධරණී මුහුදට වැටුණු බවයි.

ලෙබනනය මේවන තෙක් මේ පිළිබඳව කිසිදු ප්‍රකාශයක් නිකුත් කොට නැහැ.

එහෙත් ඊශ්‍රායල පාර්ශවයෙන් චෝදනා එල්ල වී ඇත්තේ ලෙබනනීය ශියා ඉස්ලාමික දේශපාලන පක්ෂයක් මෙන්ම සන්නද්ධ කණ්ඩායමක් වන හිස්බුල්ලා සංවිධානය මෙම ප්‍රහාරය පසුපස සිටින බවටයි.

පසුගිය සති කිහිපය පුරා ඊශ්‍රායල - පලස්තීන ජනතාව අතර දැඩි ගැටුම්කාරී වාතාවරණයක් නිර්මාණය වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස හමාස් සංවිධානය ගාසා තීරයේ සිට ඊශ්‍රායලය වෙත ප්‍රබල රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළා.

එලෙස එල්ල වුණු රොකට්වලින් බොහොමයක් විනාශ කිරීමට ඊශ්‍රායල මිසයිල නාශක පද්ධතිය සමත් වුණත් ඇතැම් ඒවා ඊශ්‍රායලයට පතිත වූවා.

එයට පිළිතුරු ලෙස ඊශ්‍රායල ප්‍රහාරක ගුවන් යානා ගාසා තීරයට පහර දීම ඇරඹීමත් සමගයි එම කලාපයේ දැඩි උණුසුම් වාතාවරණයක් නිර්මාණය වී තිබෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 14 May 2021 03:28