May 08, 2024

ජර්මනියේ නාසිවාදීන් යළි හිස ඔසවයි - පරණ වෛරය නැවත මතුවෙයි : ඊශ්‍රායල ජාතික ධජ ගිනි තබයි

ජර්මානු පොලීසිය විසින් ඊශ්‍රායලයේ ජාතික ධජයන් ගිනි තැබූ පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

මෙලෙස ඊශ්‍රායල ජාතික ධජයන් ගිනි තබා තිබුණේ ජර්මනියේ ඩසල්ඩෝෆ්හි 02 වැනි ලෝක යුද සමයේ දී නාසිවාදීන් විසින් විනාශයට පත් කළ යුදෙව් පූජා ස්ථානයක් මූලික කරගෙන නිර්මාණ්‍ය කර තිබූ ස්මාරකයක් ආසන්නයේය. එමෙන්ම ස්මාරකය වෙත ගල් ප්‍රහාරයන් ද එල්ල කර තිබූ බව සඳහන් වෙයි.

පොලිස් අත්අඩංගුවට ගත් පිරිසගෙන් කළ විමසීමකදී ඔවුන් පවසා ඇත්තේ මැද පෙරදිග සිදු වෙමින් පවතින ප්‍රචණ්ඩකාරී තත්ත්වය හමුවේ සිය විරෝධය පළ කිරීමට මෙම ගිනි තැබීම සිදු කළ බවයි.

එමෙන්ම මෙම සිදුවීම වූ ජර්මනියේ රයින්-වෙස්ට්ෆේලියා ප්‍රාන්තයේ ප්‍රධානියා වන ආර්මින් ලැෂෙට් විසින් ප්‍රකාශ කර තිබුණේ යුදෙව්වන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය කිසිම ලෙසක අනුමත නොකරන බවත් එම සිදුවීම් වූ ප්‍රදේශයන්ගේ ආරක්ෂාව තර කිරීමට කටයුතු කරන බවයි.

ජර්මානු දේශපාලනය තුළ සිටින යුදෙව් විරෝධී ප්‍රතිපත්තියක් දරන දේශපාලනඥයින් විසින් ද ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ජනතාවට එල්ල කරනු ලබන ප්‍රචණ්ඩත්වයට එරෙහිව චෝදනා එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ජර්මනියේ මධ්‍යම යුදෙව් කවුන්සිලයේ සභාපති ජොසෙෆ් ෂස්ටර් විසින් ජර්මානු රජයෙන් විශේෂ ඉල්ලීමක් කරමින් පවසා තිබුණේ යුදෙව්වන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉහළ යමින් ඇති බැවින් යුදෙව් ආයතනයන් සහ එම ජාතිකයන්ට ආරක්ෂාව ලබා දෙන ලෙසයි.

එමෙන්ම සමාජ මාධ්‍ය තුළ ඊශ්‍රායලයට සහ යුදෙව්වන්ට එරෙහිව වෛරීය ප්‍රකාශ මෙන්ම වෛරීය සහගත සිතිවිලි උස්ගැන්වීම් වැනි කටයුතුවල ඉහළ යෑමක්ද දක්නට ඇති බව සඳහන් වෙයි.

ජර්මනිය තුළ පසුගිය වසරවලට සාපේක්ෂව යුදෙව් විරෝධී ආකල්පය සහ යුදෙව්වන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉහළ යමින් ඇති අතර 2020 ජනවාරි මාසයේ සිට 2021 ජනවාරි මාසය දක්වා පමණක් එවැනි ප්‍රචණ්ඩකාරී කටයුතු 2,275ක් වාර්තා වී තිබේ.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 13 May 2021 12:58