May 18, 2024

කුසලානයේ පළමු තරගයෙන්ම ඉන්දියාවට අමිහිරි ප්‍රතිඵලයක්

මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ තරග මේවන විට ආරම්භ වී තිබෙනවා.

අද (24) දිනයේ පළමු තරගය බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාව ජයගත් අතර දිනයේ දෙවැනි තරගය මීට සුළු මොහොතකට පෙර නිමා වූවා.

ඒ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය යි.

තරගය ආරම්භ වීමටත් පෙර සිටම ක්‍රිකට් ලෝකයේ අවධානය ඉන්දියාව වෙත යොමුව තිබුණත් තරගයේ අවසන් ප්‍රතිඵලය සටහන් වූයේ කිසිවෙකු අපේක්ෂා කළ අන්දමට නොවෙයි.

කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන නායකයා ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය මුල් පෙළ පිතිකරුවන් හට සාර්ථක වීමට ඉඩ ලැබුණේ නැහැ.

කේ.එල්. රාහුල් ලකුණු තුනකට දැවී යද්දී රෝහිත් ෂර්මා දැවී ගියේ කිසිදු ලකුණක් නොලබා යි. 

කෙසේ වෙතත් නායක විරාත් කෝලි ලකුණු 57ක් ලබා ගත්තේ ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමින්. 

රිෂාබ් පාන්ට් ලකුණු 39ක් ලබා ගනිද්දී සූර්යකුමාර් යාදව් සහ හර්දික් පාන්ඩ්‍යා ලකුණු 11 බැගින් රැස් කළා. 

රවීන්ද්‍ර ජඩේජා ලකුණු 13 යි. 

බුවනේෂ්වර් කුමාර් නොදැවී ලකුණු 05ක් ලබාගත්තා.

නියමිත පන්දුවාර 20 තුළ ඉන්දීය කණ්ඩායම කඩුළු 07ක් දැවී ලකුණු 151ක් රැස් කළා.

ඉන්දියාව විසින් පාකිස්තානයට ලබා දුන් ලකුණු 152ක ඉලක්කය පන්දුවාර විස්ස තරගයක දී තරමක් සෑහීමකට පත් විය හැකි ලකුණූ ගණනක් ලෙස බැලූ බැල්මට පෙනී ගියත්, එම සිතුවිල්ල වෙනස් වූයේ පාකිස්තාන ආරම්භක පිතිකරුවන් පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි විට යි.

ආරම්භක පිතිකරුවන් යුගලය වූ මොහොමඩ් රිස්වාන් සහ බාබර් අසාම් එක්ව ඉන්දීය පන්දු යවන්නන් අසරණ කරවූයේ හතරේ පහරවල් සහ හයේ පහරවල් රැසක් එල්ල කරමින්.

ඔවුන් දෙදෙනා නොදැවී පාකිස්තානය ජයග්‍රහණය කරා රැගෙන යාම විශේෂයෙන් කැපී පෙනුනා.

ඔවුන් තරගය ජය ගත්තේ තරගයේ තවත් පන්දු 13ක් ඉතිරිව තිබියදී යි.

කිසිවෙකු නොදැවී ලකුණු 152ක් ලබා ගනිමින් පාකිස්තානය ඉන්දියාවට එරෙහිව කඩුළු 10ක දැවැන්ත ජයක් වාර්තා කළා.

මොහොමඩ් රිස්වාන් ලකුණු 79ක් සහ බාබර් අසාම් ලකුණු 68ක් ලබා ගත්තා.

ලෝක කුසලාන තරගාවලියක් තුළ පාකිස්තානය විසින් ඉන්දියාව පරාජයට පත් කළ පළමු අවස්ථාව වන්නේ මෙය යි.

එමෙන්ම රිස්වාන් සහ අසාම් දෙදෙනාගේ ලකුණු 152ක සබඳතාව වාර්තා ගත වන්නේ ඉන්දියාවට එරෙහිව පිතිකරුවන් දෙදෙනෙකු තැබූ ඉහළම විස්සයි විස්ස සබඳතාව ලෙස යි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 24 October 2021 23:24