March 29, 2024

කුසලානයේ සතුටට බීමත් වූ 'ඔසී' ක්‍රීඩකයන් කළ අමුතුම සැමරුම (VIDEO)

November 16, 2021

කුළුඳුල් ජය

පන්දුවාර විස්ස ක්‍රිකට් සැණකෙළිය නිමා කරමින් පෙරේදා (14) රාත්‍රියේ විස්සයි විස්ස ලෝක කුසලානය සියතට ගැනීමට ඒරන් ෆින්ච් ප්‍රමුඛ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වූවා.

ඒ, කේන් විලියම්සන් ප්‍රමුඛ ප්‍රබල නවසීලන්ත කණ්ඩායම කඩුළු 08කින් පරාජය කරමින්.

මෙය ඔස්ට්‍රේලියානු කණ්ඩායමක් විසින් දිනා ගත් ප්‍රථම විස්සයි විස්ස ලෝක කුසලානය වීම ද විශේෂත්වයක්.

අවසාන මහා තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් සතුටින් උද්දාමයට පත්ව ඩුබායි පිටිය මත විවිධාකාරයේ දෑ කරමින් ජය සමරන ආකාරය ද ලොව වටා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ අවධානයට ලක් වූවා.

ක්‍රීඩාගාරයේ අමුතු සැමරුම

මේ අතර තරගාවලියේ ත්‍යාග සහ කුසලාන ප්‍රදානය කිරීමේ උළෙලට පසුව ක්‍රීඩාගාරය තුළ දී ද ඔස්ට්‍රේලියානුවන් පැය ගණනාවක් පුරා සිය ජයග්‍රහණයේ සතුට සමරා තිබෙනවා.

ඒ අතරතුර ක්‍රීඩකයින් දෙදෙනෙකු සිදු කළ අමුතුම ක්‍රියාවක් පිළිබඳව ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය වාර්තා කොට තිබුණා.

එහි වීඩියෝවක් ද නිකුත් වී ඇති අතර මාකස් ස්ටෝනිස් සහ මැතිව් වේඩ් යන දෙදෙනා යි එම වීඩියෝවේ සිටින්නේ.

සපත්තු පානය

ක්‍රීඩාගාරය තුළ ජය පැන් බොමින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම විනෝදවන අතරතුරේ එක වරම සිය සපත්තුවක් ගලවාගන්නා මැතිව් වේඩ්, තම අතේ තිබූ පානය එතුළට වත් කොට එය සපත්තුවෙන් පානය කරනු ලබනවා.

එසැණින් එතැනට පැමිණෙන මාකස් ස්ටෝනිස්, වේඩ් අත තිබූ සපත්තුව උදුරාගෙන ඔහු අත තිබූ පානය එයට වත් කොට ඔහු ද සපත්තුවෙන් එය පානය කරන ආකාරය දක්නට ලැබෙනවා.

සමාජ ජාල තුළ ද මෙම වීඩියෝව වේගයෙන් පැතිර යන අතර බොහෝ දකුණු ආසියානු ක්‍රීඩා ලෝලීන් ස්ටෝනිස්ගේ සහ වේඩ්ගේ මෙම ක්‍රියාවට අප්‍රසාදය පළ කොට ඇත්තේ පැය ගණනාවක් පය ලා සිටි සපත්තුවෙන් ජය පැන් පානය කිරීම අප්‍රියජනක ක්‍රියාවක් ලෙස හඳුන්වමින්.

ඔස්ට්‍රේලියාව වැනි කණ්ඩායමකින් මෙවන් පහත් ක්‍රියාවක් කිසිසේත් බලාපොරොත්තු නොවූ බවට ඔවුන් සටහන් තබා තිබෙනවා.

එමෙන්ම හිටපු පාකිස්තාන ක්‍රිකට් තරුවක්වන ෂොයීබ් අක්තාර් ද සිය ට්විටර් ගිණූමෙහි සටහනක් තබා ප්‍රසිද්ධියේ මෙම ක්‍රියාව විවේචනය කොට තිබෙනවා.

"මේ විදිහට ජය සැමරීම ටිකක් අප්‍රියජනකයි නේද?" යනුවෙන් සටහනක් තබා ඇති ඔහු වේඩ්ගේ සහ ස්ටෝනිස්ගේ සපත්තු පාන සැමරුම විහිළුවට ලක් කරන වීඩියෝවක් ද පළ කොට තිබෙනවා.

මේ අතර මැතිව් වේඩ් සහ මාකස් ස්ටෝනිස් පමණක් අදාළ වීඩියෝවේ දී සපත්තුවෙන් ජයපැන් බොන නමුත්, මේවන විට නිකුත් වී ඇති ඡායාරූපවල දැක්වෙන්නේ ඔස්ට්‍රේලියානු නායක ඒරන් ෆින්ච් ද සපත්තු පාන සැමරුම සිදු කොට ඇති බව යි.

සපත්තු පානයේ උපත

කෙසේ වෙතත් මෙම ජය සැමරුම් විලාශය ක්‍රීඩා ලෝකයේ දී “ෂූයී” (Shoey) ලෙස හැඳින්වෙන්නක්.

2016 වසරේ දී මෙම ක්‍රියාව ලෝවට හඳුන්වා දුන්නේ ඔස්ට්‍රේලියානු ෆෝමියුලා වන් මෝටර් රථ ධාවන ශූරයෙකුවන ඩැනියල් රිචියාඩෝ විසින්.

එම වසරේ ජර්මානු ග්‍රෑන්ඩ් ප්‍රී තරගාවලිය ජයග්‍රහණය කළ රිචියාඩෝ කුසලාන ප්‍රදාන උළෙලේ දී සිය සපත්තුව ගලවා එයට ෂැම්පේන් වත් කොට පානය කරනු ලැබුවා.

ඉන් අනතුරුව මෙම පිළිවෙත ක්‍රීඩා ලෝකය තුළ ජනප්‍රිය වූ අතර විවිධ ක්‍රීඩකයින් සිය ජයග්‍රහණ සමරන අවස්ථාවල දී මෙලෙස සපත්තුවෙන් ජයපැන් බිවු අවස්ථා වාර්තා වූවා.

අවසාන මහා තරගය

පෙරේදා අවසන් වූ අවසාන මහා තරගයේ කාසිය වාසිය දිනු ඕස්ට්‍රේලියානු නායක ඒරන් ෆින්ච් තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමටයි.

ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත පිතිකරුවන් කඩුලු 4ක් දැවී ලකුණු 172 ක් රැස් කළා.

එහිදී නායක නායක කේන් විලියම්සන්ගේ විශිෂ්ඨ ඉනිම විශේෂයෙන් කැපී පෙනුනා.

පන්දු 48 ක් තුල විලියම්සන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 85ක්.

වාර්තා බිඳ වැටෙයි

පන්දුවාර 20 ලෝක කුසලාන අවසාන මහා තරගයක් තුළ දී ක්‍රීඩකයෙකු රැස් කළ වැඩිම ලකුණු ගණන සම කිරීමට ද ඔහු සමත් වූවා.

ඔහු එසේ සම කළේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක මාලන් සැමුවෙල්ස් 2016 අවසාන මහා තරගයේ දී ලකුණු 85ක් ලබාගෙන තැබූ වාර්තාවයි.

2009 වසරේ දී ලෝඩ්ස් පිටියේ පැවැති අවසාන මහා තරගයේ දී කුමාර් සංගක්කාර ලකුණූ 64ක් ලබාගෙන, පන්දුවාර විස්ස ලෝක කුසලාන අවසාන මහා තරගයක දී වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගත් නායකයා ලෙස වාර්තා අතරට ගොස් තිබුණා.

විලියම්සන් සංගක්කාරගේ එම වාර්තාව ද බිඳ හෙලීමට සමත් වීම විශේෂත්වයක්.

නවසීලන්තය වෙනුවෙන් මාටින් ගප්ටිල් ලකුණු 28ක් ද, ඩැරිල් මිචෙල් ලකුණු 11ක් ද රැස් කළ අතර ග්ලෙන් ෆිලිප්ස් ලකුණූ 18ක් ලබාගත්තා.

පන්දුවාර 20 අවසන්වන විට පිටියේ රැඳී සිටි ජේම්ස් නීෂම් නොදැවී ලකුණු 13ක් ද ටිම් සෙයිෆර්ට් නොදැවී ලකුණූ 08ක් ද ලබා සිටියා.

කැංගරු ඉනිම

තරගය ජයග්‍රහණය කිරීම සඳහා ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට ලැබුණු ඉලක්කය ලකුණු 173ක්.

එය හඹා යාම සඳහා පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් යුගලයේ ලකුණූ සබඳතාව ලකුණු 15කට සීමා කිරීමට ට්‍රෙන්ට් බෝල්ට් සමත් වුණා.

ඒ ඔස්ට්‍රේලියානු නායක ඒරන් ෆින්ච් ලකුණු 05කට දවා ගැනීමත් සමග යි.

කෙසේ වෙතත් නොසිතූ අන්දමින් ඉතා වේගවත් ලකුණූ සබඳතාවක් ගොඩ නැගීමට ඩේවිඩ් වෝනර් සහ මිචෙල් මාෂ් සමත් වූයේ නවසීලන්ත ක්‍රීඩකයින්ගේ සිත් තුළ පරාජය රෝපණය කරමින්.

ඔවුන් දෙදෙනා පන්දු 59කින් ලකුණූ 92ක දැවැන්ත ලකුණූ සබඳතාවක් ගොඩ නැගුවා.

එහෙත් ඩේවිඩ් වෝනර්ගේ කඩුල්ල ට්‍රෙන්ට් බෝල්ට් විසින් දවා ගැනීමත් සමග එම සබඳතාව බිඳී ගියා.

වෝනර් ලබා ගත් ලකුණු ගණන 53ක්.

ඔහුගේ ඉනිමට හයේ පහර 03ක් සහ හතරේ පහර 04ක් ඇතුළත් වූවා.

ඓතිහාසික ජයග්‍රහණය

කෙසේ වෙතත් මීලඟ පිතිකරු වූ ග්ලේන් මැක්ස්වෙල් සමග එක්වුණු මිචෙල් මාෂ් වේගවත් ලෙස පන්දුවට පහර දෙමින් ලකුණූ රැස් කළේ නවසීලන්ත පන්දුයවන්නන් අසරණ කරමින්.

නවසීලන්තය පිත්තෙන් සහ පන්දුවෙන් කළ සියළු උත්සාහයන් ව්‍යර්ථ වූ අතර මාෂ් සහ මැක්ස්වෙල් එක්ව ඔස්ට්‍රේලියා ලකුණූ පුවරුව ජයග්‍රහණයේ සීමාව කරා රැගෙන ගියා.

ඒ, පිටිය සිසාරා ගිගුම් දුන් මල් වෙඩි හඬ මධ්‍යයේ යි.

ඔවුන් දෙදෙනා පන්දු 39ක් තුළ ගොඩ නැගූ සබඳතාව ලකුණූ 66ක්.

මිචෙල් මාෂ් නොදැවී ලකුණු 77ක් ලබා ගත් අතර එම ඉනිමට හයේ පහර 04ක් සහ හතරේ පහර 06ක් ඇතුළත් වූවා.

එක් හයේ පහරක් සහ හතරේ පහර 04ක් සමගින් ග්ලේන් මැක්ස්වෙල් නොදැවී ලකුණූ 28ක් රැස් කළා.

ඒ අනුව ඔස්ට්‍රේලියාව කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 173ක් ලබා ගනිමින් තරගය කඩුළු 08කින් ජයග්‍රහණය කළා.

ඒ, මාසයක් පමණ කාලයක් තිස්සේ පැවැති තරගාවලිය නිමා කරමින්, 2021 වසරේ පන්දුවාර විස්ස ලෝක ශූරයන් බවට පත් වෙමින්.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 16 November 2021 16:39