April 26, 2024

විස්සයි 20 කිරුළ කැංගරුවන්ට!

November 14, 2021

මෙවර පන්දුවාර 20 ලෝක කුසලානයේ අවසාන මහා තරගය මීට සුළු මොහොතකට පෙර අවසන් වූවා.

ඒ නවසීලන්තය පරදවා ඔස්ට්‍රේලියාවට ජය අත්කරදෙමින්.

කාසිය වාසිය දිනු ඕස්ට්‍රේලියානු නායක ඒරන් ෆින්ච් තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමටයි.

ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත පිතිකරුවන් කඩුලු 4ක් දැවී ලකුණු 172 ක් රැස් කළා.

එහිදී නායක නායක කේන් විලියම්සන්ගේ විශිෂ්ඨ ඉනිම විශේෂයෙන් කැපී පෙනුනා.

පන්දු 48 ක් තුල විලියම්සන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 85ක්.

පන්දුවාර 20 ලෝක කුසලාන අවසාන මහා තරගයක් තුළ දී ක්‍රීඩකයෙකු රැස් කළ වැඩිම ලකුණු ගණන සම කිරීමට ද ඔහු සමත් වූවා.

ඔහු එසේ සම කළේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක මාලන් සැමුවෙල්ස් 2016 අවසාන මහා තරගයේ දී ලකුණු 85ක් ලබාගෙන තැබූ වාර්තාවයි.

2009 වසරේ දී ලෝඩ්ස් පිටියේ පැවැති අවසාන මහා තරගයේ දී කුමාර් සංගක්කාර ලකුණූ 64ක් ලබාගෙන, පන්දුවාර විස්ස ලෝක කුසලාන අවසාන මහා තරගයක දී වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගත් නායකයා ලෙස වාර්තා අතරට ගොස් තිබුණා.

විලියම්සන් අද සංගක්කාරගේ එම වාර්තාව ද බිඳ හෙලීමට සමත් වීම විශේෂත්වයක්.

නවසීලන්තය වෙනුවෙන් මාටින් ගප්ටිල් ලකුණු 28ක් ද, ඩැරිල් මිචෙල් ලකුණු 11ක් ද රැස් කළ අතර ග්ලෙන් ෆිලිප්ස් ලකුණූ 18ක් ලබාගත්තා.

පන්දුවාර 20 අවසන්වන විට පිටියේ රැඳී සිටි ජේම්ස් නීෂම් නොදැවී ලකුණු 13ක් ද ටිම් සෙයිෆර්ට් නොදැවී ලකුණූ 08ක් ද ලබා සිටියා.

තරගය ජයග්‍රහණය කිරීම සඳහා ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට ලැබුණු ඉලක්කය ලකුණු 173ක්

එය හඹා යාම සඳහා පිටියට පිවිස් ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් යුගලයේ ලකුණූ සබඳතාව ලකුණු 15කට සීමා කිරීමට ට්‍රෙන්ට් බෝල්ට් සමත් වුණා.

ඒ ඔස්ට්‍රේලියානු නායක ඒරන් ෆින්ච් ලකුණු 05කට දවා ගැනීමත් සමග යි.

කෙසේ වෙතත් නොසිතූ අන්දමින් ඉතා වේගවත් ලකුණූ සබඳතාවක් ගොඩ නැගීමට ඩේවිඩ් වෝනර් සහ මිචෙල් මාෂ් සමත් වූයේ නවසීලන්ත ක්‍රීඩකයින්ගේ සිත් තුළ පරාජය රෝපණය කරමින්.

ඔවුන් දෙදෙනා පන්දු 59කින් ලකුණූ 92ක දැවැන්ත ලකුණූ සබඳතාවක් ගොඩ නැගුවා.

එහෙත් ඩේවිඩ් වෝනර්ගේ කඩුල්ල ට්‍රෙන්ට් බෝල්ට් විසින් දවා ගැනීමත් සමග එම සබඳතාව බිඳී ගියා.

වෝනර් ලබා ගත් ලකුණු ගණන 53ක්.

ඔහුගේ ඉනිමට හයේ පහර 03ක් සහ හතරේ පහර 04ක් ඇතුළත් වූවා.

කෙසේ වෙතත් මීලඟ පිතිකරු වූ ග්ලේන් මැක්ස්වෙල් සමග එක්වුණු මිචෙල් මාෂ් වේගවත් ලෙස පන්දුවට පහර දෙමින් ලකුණූ රැස් කළේ නවසීලන්ත පන්දුයවන්නන් අසරණ කරමින්.

නවසීලන්තය පිත්තෙන් සහ පන්දුවෙන් කළ සියළු උත්සාහයන් ව්‍යර්ථ වූ අතර මාෂ් සහ මැක්ස්වෙල් එක්ව ඔස්ට්‍රේලියා ලකුණූ පුවරුව ජයග්‍රහණයේ සීමාව කරා රැගෙන ගියා.

ඒ, පිටිය සිසාරා ගිගුම් දුන් මල් වෙඩි හඬ මධ්‍යයේ යි.

ඔවුන් දෙදෙනා පන්දු 39ක් තුළ ගොඩ නැගූ සබඳතාව ලකුණූ 66ක්.

මිචෙල් මාෂ් නොදැවී ලකුණු 77ක් ලබා ගත් අතර එම ඉනිමට හයේ පහර 04ක් සහ හතරේ පහර 06ක් ඇතුළත් වූවා.

එක් හයේ පහරක් සහ හතරේ පහර 04ක් සමගින් ග්ලේන් මැක්ස්වෙල් නොදැවී ලකුණූ 28ක් රැස් කළා.

ඒ අනුව ඔස්ට්‍රේලියාව කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 173ක් ලබා ගනිමින් තරගය කඩුළු 08කින් ජයග්‍රහණය කළා.

ඒ, මාසයක් පමණ කාලයක් තිස්සේ පැවැති තරගාවලිය නිමා කරමින්, 2021 වසරේ පන්දුවාර විස්ස ලෝක ශූරයන් බවට පත් වෙමින්.

මෙය ඔස්ට්‍රේලියාව පන්දුවාර විස්ස ලෝක කුසලානයක් දිනා ගත් පළමු අවස්ථාව ලෙස ද ලෝක වාර්තා අතරට එක්වනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 16 November 2021 09:05