April 25, 2024

පිටිය සූදානම්! අවසන් සටනට පෙර ඔබ දැනගත යුතුම කරුණු!

November 14, 2021

අසල්වැසියන්ගේ සටන

මසක පමණ කාලයක් පුරා ඉතා උණුසුම්කාරී ලෙස විහිද ගිය 2021 වසරේ පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කූටප්‍රාප්තිය හෙවත් අවසාන මහා තරගය තවත් විනාඩි කිහිපයකින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තරගාවලියේ ආරම්භයේ සිටම මතු වූ විවිධ අනාවැකි බොහොමයක් බිඳ හෙළමින් මෙවර අවසාන මහා තරගය අසල්වැසියන්ගේ සටහන් බවටයි පත්ව තිබෙන්නේ.

වෙනත් ආකාරයකින් කිවහොත් එකම මහාද්වීපයක තරගයක් බවට අවසාන මහා තරගය පත්ව අවසන්.

කුළුඳුල් T20 කුසලානය

කිවියන් ලෙස හැඳින්වෙන නවසීලන්තයත්, කැංගරුවන් ලෙස විරුදාවලිය ලද ඔස්ට්‍රේලියාවත් සූදානම් වන්නේ විස්සයි විස්ස කිරුළ තම රට බලා රැගෙන යාමට යි.

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන දෙපාර්ශවයම පන්දුවාර 20 ලෝක කුසලානයක් මෙතෙක් ජයග්‍රහණය කර නොමැති වීම ද විශේෂත්වයක්.

එම නිසා අද (14) පැවැත්වෙන තරගයෙන් කවුරුන් ජයගත්ත ද එය එම කණ්ඩායමේ පළමු විස්සයි විස්ස ලෝක කුසලාන ජය බවට පත් වනවා.

අතීත හමුවීම්

මෑතක දී ජාත්‍යන්තර කරළියට ආ විස්සයි විස්ස තරග මාදිලිය ක්‍රිකට් ක්‍රීඩාව නවමු මාවතකට ගෙන යාමට සමත් වූවා.

එතෙක් ටෙස්ට් සහ එක්දින තරග වලට හුරු වී සිටි ප්‍රේක්ෂකයන් විස්සයි විස්ස මාදිලිය ඉතා ආදරයෙන් වැළඳගත්තේ කෙටි කාලයක් තුළ ඉතා උණුසුම් තරගයක සාක්ෂිකරුවන් වීමට හැකි වීම නිසා යි.

ලොව ප්‍රථම ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරගය 2005 වසරේ දී පැවැත්වුණා.

පුදුමයට කරුණ වන්නේ එහි තරග වැදුනේ ද අද දින ලෝක කුසලාන අවසාන මහා තරගයේ දී තරගවදින ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය වීම යි.

එම තරගයෙන් ඔස්ට්‍රේලියාව ලකුණු 44කින් ජය ගත්තා.

එතැන් සිට මේ දක්වා දෙරට අතර තරග 14ක් පවත්වා ඇති අතර ඉන් 09ක්ම ජයගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාව යි.

නවසීලන්තය තරග 05ක් ජය ගෙන තිබෙනවා.

ලෝක කුසලාන මතක

කෙසේ වෙතත් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලි 07ක් පවත්වා ඇති පසුබිමක නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව ලෝක කුසලාන තරගයක දී හමුව ඇත්තේ එක් වරක් පමණ යි.

ඒ 2016 වසරේ පැවැති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී යි.

එම තරගය ලකුණූ 08කින් ජය ලබන්නට නවසීලන්තය සමත් වූවා.

විස්සයි විස්ස ලෝක කුසලාන අවසාන මහා තරගයකට මීට පෙර නවසීලන්තය සහභාගී වී නැහැ.

ඒ අනුව මෙය ඔවුන්ගේ කුලුඳුල් විස්සයි විස්ස අවසාන මහා තරගය බවට පත්වනවා.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාව 2010 වසරේ අවසාන මහා තරගයට ක්‍රීඩා කළ අතර එහි දී ඔවුන් අනුශූරයන් බවට පත් වූවා.

එබැවින් අද තරගය ඔස්ට්‍රේලියාවේ දෙවැනි විස්සයි විස්ස අවසාන මහා තරගය බවට පත්වනු ඇති.

ක්‍රීඩකයෝ

කණ්ඩායම් දෙකෙහි ක්‍රීඩකයන් සියළු දෙනාම අද තරගයට තීරණාත්මක ලෙස බලපානු ඇති වුවත් තරගය වෙනස් කළ හැකි ක්‍රීඩකයින් කිහිපදෙනෙකු නම් කිරීමට හැකියි.

පිතිකරුවන් දෙස අවධානය යොමු කිරීමේ දී, ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ප්‍රබල පීඩනයක් එල්ල කළ හැකි ක්‍රීඩකයෙකු ලෙස හැඳින්වීමට පුලුවන්.

අවසන් පූර්ව වටයේ දී ආන්දෝලනාත්මක ලෙස දැවී ගිය ඔහු එම තරගයේ දී රැස් කළ ලකුණූ 49 විශේෂයෙන් කැපී පෙනුනා.

එමෙන්ම ඔහු මේවන විට මෙම තරගාවලිය තුළ රැස් කරගෙන ඇති ලකුණු ගණන 236ක්.

මෙම තරගාවලියේ දී වැඩිම ලකුණූ ප්‍රමාණයක් රැස් කර ඇති ක්‍රීඩකයින්ගෙන් ඔහු පත්ව ඇත්තේ සිව්වැනි ස්ථානයට යි.

නවසීලන්තයේ ඩැරිල් මිචෙල් ද නොසලකා හැරිය නොහැකිවන අතර ඔහු මෙම තරගාවලිය තුළ ලබා ගෙන ඇති ලකුණූ ගණන 197ක්.

ඒ තරග 06ක් තුළ යි.

නවසීලන්තයේ මාටින් ගප්ටිල් මෙම තරගාවලිය තුළ දී ලකුණූ 180ක් ලබා සිටිනවා.

එමෙන්ම ගප්ටිල් මෙම තරගාවලියේ දී එක් ඉනිමක් තුළ දී වැඩිම ලකුණූ ප්‍රමාණයක් ලබා ගත් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ තුන්වැනි ස්ථානයේ පසුවන්නේ ඔහු ලබාගත් ලකුණු 93 හේතුවෙන්.

අද තරගයේ දී පන්දු යවන්නන් කෙරෙහි දැඩි අවධානයක් යොමුවනු ඇති.

ඒ අතර ඔස්ට්‍රේලියානු පා දඟ පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පා කෙරෙහි වැඩි අවධානයක් යොමුව තිබෙනවා.

මෙම තරගාවලිය තුළ වැඩිම කඩුළු ප්‍රමාණයක් බිඳ හෙළා ඇති ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවෙහි මේවන විට ඔහු සිටින්නේ දෙවැනි ස්ථානයේ යි.

එහි පළමු තැන ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග ලබා සිටින්නේ කඩුළු 16ක් බිඳහෙළමින්.

සම්පා මේවන විට කඩුලු 12ක් ලබා සිටිනවා.

එම ලැයිස්තුවේ සම්පාට එක් පියවරක් පහළින්, එනම් තෙවැනි ස්ථානයේ රැඳී සිටින නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට් ද තරගය උඩු යටිකුරු කළ හැකි ක්‍රීඩකයෙකු ලෙස හැඳීන්වීමට හැකියි.

ඔහු මෙම තරගාවලිය තුළ කඩුළු 11ක් බිඳහෙළා තිබෙනවා.

නවසීලන්තයේ ඊෂ් සෝධි, ටිම් සෞති සහ ඔස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාක්, ජෝෂ් හේසල්වුඩ් වැන්නවුන් ද ප්‍රබල පන්දු යවන්නන් වනවා.

කෝපය නිසා වූ අහිමි වීම

අවසන් පූර්ව වටයේ දී එංගලන්තයෙන් එල්ල වූ ප්‍රබල පීඩනය හමුවේ තරගය සිය කණ්ඩායටම දෙසට හරවා ගැනීමට විශාල දායකත්වයක් දුන් ක්‍රීඩකයෙකු ලෙස නවසීලන්ත පිතිකරු ඩෙවෝන් කොන්වේ හඳුන්වන්නට පුළුවන්.

කෙසේ වෙතත් නවසීලන්තයට ඔහු අවැසිම අවස්ථාවේ දී අවසාන මහා තරගයට  සිය දායකත්වය ලබා දීමට කොන්වේට අද හැකිවන්නේ නැහැ.

ඒ අවසන් පූර්ව වටයේ දී ඔහු තමන් විසින්ම කරගත් යමක් නිසා අනතුරට භාජනය වීම යි.

වීඩියෝ: ඉක්මන් කෝපය නිසා කොන්වේට අද අවසන් තරගය අහිමි වෙයි

එම තරගයේ දී ඉතා හොඳින් පන්දුවට පහර දෙමින් සිටි ඔහු ලකුණූ 46ක් ලබා සිටියදී හදිසියේම දැවී ගිය අතර එයින් කෝපයට පත් කොන්වේ සිය අතින් පිත්තට පහර දෙනු ලබනවා.

කෙසේ වෙතත් පසුව අනාවරණය වී ඇත්තේ එයින් ඔහුගේ අතෙහි අස්ථි බිඳිමකට ලක්ව ඇති බව යි.

ඒ අනුව ඔහුට අද පැවැත්වෙන අවසාන මහා තරගය පමණක් නොව ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරගාවලිය ද අහිමි වනු ඇති බව ක්‍රිකට් වාර්තා පෙන්වා දෙනවා.

ඔහුගේ අහිමි වීම නවසීලන්තයට ප්‍රබල බලපෑමක් එල්ල කළ හැකි බව ද විචාරකයන් සඳහන් කරනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 14 November 2021 18:32