May 01, 2024

සචින්ගේ පුතාගේ ඉවසීම පනි : ආබාධයක් යැයි කියමින් තරගාවලියෙන් ඉවත් වේ

මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ වේග පන්දු යවන අර්ජුන් තෙන්ඩුල්කාර් ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියෙන් ඉවත් වී තිබෙනවා.

ඒ ඇති වූ ආබාධයක් හේතුවෙන්.

ආබාධයට හේතුවක් නැහැ

ආබාධය ඇතිවීමට හේතුව හෝ ඒ සම්බන්ධ වෙනත් කිසිදු කරුණක් මුම්බායි ඉන්දියන් කළමනාකාරිත්වය ප්‍රකාශයට පත් කර නැහැ.

එහි ඇති විශේෂත්වය වන්නේ මේ වන විට එක්සත් අරාබි එමිර් රාජ්‍යය පැවැත්වෙන IPL තරගාවලියේ ඉතිරි කොටසේ තරඟයකට හෝ ඊට පෙර ඉන්දියාවේ පැවැති IPL මුල් කොටසේ එක තරගයකටවත් අර්ජුන තෙන්ඩුල්කාර් සහභාගි නොවීමයි.

අර්ජුන් තෙන්ඩුල්කාර් ගැන විශේෂයෙන් කතා වන්නේ ඔහු ඉන්දියාව එතෙක් මෙතෙක් බිහි කළ විශිෂ්ටතම පිතිකරුවා වූ සචින් තෙන්ඩුල්කාර්ගේ පුත්‍රයා වීම නිසයි.

සචින් තෙන්ඩුල්කාර් මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ දිරිගන්වන්නා ලෙසත් කටයුතු කරනවා.

ක්‍රීඩාලෝලීන්ගේ ඉල්ලීම

අර්ජුන් තෙන්ඩුල්කාර්මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් 11 දෙනාට ඇතුලත් කර ගන්නා ලෙස එම කණ්ඩායමේ ක්‍රීඩා ලෝලීන්ගෙන් බලවත් ඉල්ලීමක්ද ආවා.

පියා විවේක කාලයේදී පිටියට පැමිණ කණ්ඩායමට උපදෙස් දෙන විට පුතා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට වතුර ගෙන යෑම තමන්ට දරාගත නොහැකි බවයි මුම්බායි ඉන්දියන් ක්‍රීඩාලෝලීන් සඳහන් කරන්නේ.

ඔවුන් සචින් තෙන්ඩුල්කාර්ව සලකන්නේ දේවත්වයෙන්.

එහෙත් වමත් වේගපන්දු යවන අර්ජුන් තෙන්ඩුල්කාර්ට එසේ කණ්ඩායමට ඇතුළත් වීමට දක්ෂතා නොමැති බවයි වාර්තා වන්නේ.

මුම්බායි කණ්ඩායම වෙනුවෙන් විස්සයි විස්ස තරග දෙකකට පමණක් සහභාගි වී ඇති අර්ජුන තෙන්ඩුල්කාර් එහිදී ලබා ගෙන තිබෙන්නේත් කඩුලු දෙකක් පමණයි.

සුළු මුදල

මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම අර්ජුන් තෙන්ඩුල්කාර්ව මිලට ගත්තේ ඉන්දීය රු. ලක්ෂ 20ක් වැනි ඉතා සුළු මුදලකට.

මුම්බායි ඉන්දියන් හිමිකරුවන් වන අම්බානි පවුල් හා තෙන්ඩුල්කාර් පවුල් අතර ඇති මිත්‍රත්වය නිසා බවයි වාර්තා වන්නේ.

ලංකාවේ මුදලින් නම් රු. ලක්ෂ 50 ක් පමණ වනවා.

මේ නිසා අර්ජුන් තෙන්ඩුල්කාර් IPL තරගාවලියෙන් ඉවත් වීම ආබාධයක් නිසා නොව හුදෙක්ම අවස්ථාව නොලැබීම නිසා සිදු වූ බවයි දක්නට තිබෙන්නේ.

අවදානම නොගැනීම

මේ වන විට IPL තරගාවලියේ කණ්ඩායම් අතර පැවැත්වෙන තරග අවසාන අදියරට පැමිණ ඇති අතර පිටු මලුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලබන කණ්ඩායම 4 ට ඇතුළත්වීම සඳහා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලොකු සටනක නියැලී සිටින්නේ.

ඒ නිසා එම කණ්ඩායමේ කළමනාකාරිත්වය අර්ජුන් තෙන්ඩුල්කාර් ක්‍රීඩා කරන්න 11 ට ඇතුළත් කර ගැනීමේ අවදානමක් ගැනීමට සූදානම් නැති බවයි වාර්තා වන්නේ.

අර්ජුන් තෙන්ඩුල්කාර් වෙනුවට සිමර්ජිත් සිං නැමැති ක්‍රීඩකයෙකු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ඇතුළත් කරගෙන තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Friday, 01 October 2021 18:00