April 27, 2024

IPL හී සියල්ල අවසන් බවට සංගක්කාර විසින් ක්‍රිස් මොරිස්ට දුන් අවසන් ඉඟිය

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ මිල අධිකම ක්‍රීඩකයා වූ දකුණු අප්‍රිකානු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක මෙන්ම රාජස්ථාන රෝයල්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් මොරිස් විසින් අයි.පී.එල් නවතා දමන අවස්ථාවේ මුහුණ දීමට සිදු වූ අත්දැකීම් පිළිබඳව වෙබ් අඩවියක් සමඟ අදහස් පළ කර තිබුණි.

ක්‍රිස් විසින් එහිදී සිය අත්දැකීම් පිළිබඳව මතක් කරමින් පවසා සිටියේ නිරෝධායන ක්‍රියාවලියෙන් පසු සියලු ක්‍රීඩකයන් ආරක්ෂිත බුබුළේ සිටි බවත් එම බුබුළ තුළින්ද කොරෝනා ආසාදිත ක්‍රීඩකයන් හමුවෙන අවස්ථාවේ බොහෝ ක්‍රීඩකයන් විසින් තරමක් කලබල වී සිටි බවයි.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ කඩුලු රකින පිතිකරු වර්දිම්මන් සහා සහ දිල්ලි කැපිටල්ස් හි අමිත් මිශ්‍රා හට පසුගිය අඟහරුවාදා (04) දිනයේ දී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වීමත් සමඟ තරඟාවලිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලදී.

එම අවස්ථාවේ ක්‍රිස් විසින් සිය කණ්ඩායමේ වෛද්‍යවරයා සමඟ ඔවුනට ලබා දී තිබූ හෝටලයේ ප්‍රධාන ශාලාව තුළ සාකච්ඡාවක සිට ඇති අතර එම ස්ථානයට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන උපදේශකවරයා වන කුමාර් සංගක්කාර පැමිණ තරඟාවලිය අත්හිටවූ බව පවසා තිබුණේ ක්‍රිස් මොරිස් හට ඉඟියක් ලබාදෙමිනි.

එම ඉඟිය පිළිබඳව ක්‍රිස් විසින් වෙබ් අඩවියට පවසා තිබුණේ මෙලෙසිනි,

“මම අපගේ කණ්ඩායම් වෛද්‍යවරයා සමඟ කතාබස් කරමින් සිටියා. කුමාර් එතැනට පැමිණ ඔහුගේ උගුර හරහා ඇඟිල්ල ඇද ගත්තා. අපි දැන ගත්තා සියල්ල අවසන් වෙලා කියලා..” යනුවෙනි.

එංගලන්ත ක්‍රීඩකයන් ද එම අවස්ථාවේ කලබලයෙන් සිටි බවටත්, දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ම ක්‍රීඩකයෙකු වන ජෙරල්ඩ් කෝට්සි එම අවස්ථාවේ බොහෝ සෙයින් කලබලයට පත්ව සිටි බව පැවසූ ක්‍රිස් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ තමා ඔහුව සැනසීම සඳහා කටයුතු කළ බවයි. 

එහිදී ක්‍රිස් පවසා සිටියේ “ජෙරල්ඩ් කියන්නේ අවුරුදු 20ක තරුණයෙක්. ඔහු තරමක් කලබල වෙලා හිටියේ..” යනුවෙනි.

මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය නියෝජනය කරන සියලුම දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන් නැවතත් සිය රට වෙත ගොස් ඇති අතර ක්‍රිස් ද මේ වන විට සිය නිවසේ දින 10ක නිරෝධායන ක්‍රියාවලියකට යොමුව සිටියි.

Rate this item
(1 Vote)