May 02, 2024

වනිඳු IPL ගියොත් වෙන දේ ගැන මුරලි කියයි

ඉන්දියානු - ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පැවැති එක්දින තරඟාවලියේ දී මෙන්ම දැන් පැවැත්වෙන විස්සයි - විස්ස තරඟාවලියේ දී ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන්නා වන වනිඳු හසරංගගේ පන්දු යැවීම ලෝකයේ බොහෝ දෙනාගේ අවධානය හිමිවෙලා.

ඉන්දියානු ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ද වනිඳු ගැන විශාල බලාපොරොත්තුවක් ඇතිකරගෙන ඇති අතර ඔවුන් පවසා සිටින්නේ ඔහු අනිවාර්යෙන්ම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට ක්‍රීඩා කළ යුතු බවයි.

මේ සම්බන්ධව ශ්‍රී ලංකාවෙන් බිහි වූ ලෝක පූජිත දඟපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් විසින් අදහස් පළ කර තිබුණා.

එහිදී මුරලි විසින් පවසා සිටියේ ඉන්දීය ප්‍රිමියර් ලිග් කණ්ඩායම් අනිවාර්යෙන්ම වනිඳු හසරංගව ගැනීම සඳහා කටයුතු කරනු ඇති බවයි. නමුත් එහි ගැටලුවක් ඇති බවට මුරලි පවසා සිටිනවා.

සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ දඟ පන්දු යවන පුහුණුකරුවා මෙන්ම ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩා කළ කෙනෙකු ලෙස මුරලි පෙන්වා දෙන්නේ වනිඳුව ප්‍රිමියර් ලීග් කණ්ඩායමක් මිලදි ගත්තත් ඔහුට තරඟාවලියට ක්‍රීඩා කිරීම පහසු දෙයක් නොවන බවයි. 

මුරලි එයට හේතුව ලෙස පෙන්වා දෙන්නේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියන්වලදී බොහෝ කණ්ඩායම් විදේශීය දඟ පන්දු යවන්නන්ට වඩා දේශීය දඟ පන්දු යවන්නන්ව යොදාගන්නා අවස්ථාව වැඩි බවයි.

තවත් තරඟ ක්‍රීඩා කළ කඩුළු ලබාගෙන දස්කම් දක්වන්නේ නම් වනිඳු හට අවස්ථාවක් ලැබීමට වැඩි ඉඩකඩක් ඇති බවට පෙන්වා දෙන මුරලි වැඩිදුරටත් සඳහන් කර සිටියේ වනිඳු විස්සයි - විස්ස සහ එක්දින තරඟ රටාවේ හොඳින් පන්දු යැවීමේ නිරත වන බවයි.

කෙසේ වෙතත් වනිඳු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට සහභාගී වෙනවාද යන්න පිළිබඳව මෙතෙක් කිසිදු අදහසක් දක්වා නැහැ.

Rate this item
(0 votes)